🌹ඔබත් ගුරුවරයෙක්ද? ඔබේ දැනුම දරුවන්ට දායාද කරන කෙනෙක් ද? එසේ නම් මේ කාරණාව අනිවාර්යයෙන් ම දැනගන්න.
🌺ගුරු වෘත්තිය සමාජයේ තිබෙන ශ්රේෂඨතම වෘත්තියකි. තමන් ඉගෙනගත් දැනුම මතු පරපුරට දායාද කරන්නට ලැබීම ගුරු වෘත්තියේ නියුතු කෙනෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. බොහෝ අයට තමන් කොතරම් දැනුම එකතු කරගත්තත් එය තවත් පිරිසකට දායාද කරන්න අවස්ථාව ලැබෙන්නේ ඉතා සීමිතවයි. නමුත් ගුරුවරයෙකුට තමන් ඉගෙන ගත් දේ දරුවන්ට දායාද කරමින් සමාජයට යහපත් පුරවැසියන් බිහිකරන්නට අවස්ථාව ලැබේ. එනිසාම ගුරු වෘත්තිය අනෙක් වෘත්තීන්ට වඩා වෙනස් වේ.
තමන්ගෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ අනාගත ජීවිතය සාර්ථක වෙන්නේ තමන් ලබා දෙන දැනුමෙනි. තමන් සතු දැනුම, ශිල්පය තවත් කෙනෙකුට දායාද කිරීම පිනකි. නමුත් බොහෝ අය මෙය පිනක් ලෙස නොහඳුනන නිසා ම තමන්ට හරි ආකාරව පින් රැස් කරගැනීමේ අවස්ථාව නැති කරගනිති. සමහර ගුරුවරු තමන් සතු දැනුම තවත් කෙනෙකුට දායාද කරන්නට පසුබට වෙයි. එසේත් නැතිනම් තමන් සතු දැනුම සඟවා කොටසක් පමණක් දෙයි. තම දැනුම භාවිතා කර ඉගෙන ගන්නා සිසුව තමන් අභිබවා යනු යැයි සිතා සඟවා ශිල්පය දෙයි. ශිල්ප හදාරන්නා තමන් ඇසුරේ තමන් ළඟම තබා ගැනීම පිණිස නිවැරදි ශිල්පය සම්පූර්ණයෙන් නොදෙයි. ගුරු මුෂ්ඨි තබාගෙන ශිල්ප දෙයි. මේ ආකාරයෙන් විවිධ හේතු නිසා නිවැරදි ශිල්පය දායාද නොකරන පිරිස් සමාජයේ සිටි. අලස කම නිසාත් නොසැළකිලි බාවය නිසාත් නිවැරදිව ශිල්පය දායාද නොකරන පිරිස්ද සමාජයේ සිටි. තම පාසලේ දරුවන්ව තමන්ගේ පෞද්ගලික පන්තියට සම්බන්ධ කර ගැනීමේ අදහසින් පන්තියේදී නිවැරදිව ශිල්ප දැනුම නොදී සිටින ගුරුවරුන් සිටී. එනිසා ම දරුවන්ට අතපසු වෙන දැනුම ලබා ගැනීම පිණිස එම ගුරුවරයාගේ පෞද්ගලික පන්ති වලට සහභාගී වීමට සිදු වේ. මේ ආකාරයට නොයෙක් හේතු නිසා ශිල්පය නිවැරදිව නොහදාරවන ගුරුවරු සමාජයේ සිටි.
🌺ඔය අතරම ගුරු වෘත්තිය මනාකොට සිදු කරමින් ජීවිතයට පින් රැස් කරගන්නා ගුරුවරුන්ද සිටි. තමන් සතු දැනුම කිසිම ලෝභ කමක් නැතුව දරුවන්ට දායාද කිරීමට කැපවෙන ගුරුවරු සමාජයේ හමු වේ. නොයෙකුත් උපක්රම කරමින් නොතේරෙන කාරණා කියා දෙමින් මහත් උනන්දුවෙන් දරුවන්ට ශිල්පය ලබා දීමට කැපවෙන ගුරුවරු හමු වේ. තමන් දායාද කරන දැනුමෙන් පෝෂණය වන දරුවන් අනාගතය සාර්ථක කරගන්නා අයුරු දෙස බලා හදවතින් ම සතුටු විය හැකි පිනක් බවට ඔවුන් මෙම වෘත්තිය පත් කරගෙන තිබේ.
සැබවින් ම තමන් සතු දැනුම දායාද කිරීමෙන් පිනක් රැස් වේ. එහිදී තමන් ශිල්පය දායාද කරන ආකාරයයි වැදගත් වෙන්නේ. චේතනාවයි මූලික වෙන්නේ. ශිල්ප දැනුම කිසිම සැළකිල්ලක් නැතිව ඕනෑවට එපාවට උගන්වන්නේ නම් එයින් විශාල පිනක් රැස් නොවේ. නමුත් කෙනෙක් මහත් උනන්දුවෙන් සකස් කොට ශිල්ප හදාරවයි නම් එයින් පිනක් රැස් වේ. මෙහිදී දරුවන් කෙරෙහි ඇති මුදිතාව පින උපද්දවන කුසලයයි. මුදිතාව යනු අනුන්ගේ දියුණුව දැක සතුටු වීමයි. දරුවන්ගේ දියුණුව දැක ගුරුවරයෙකුට සතුටු වන්නට හැකිනම් එය පින් වැඩෙන්නට අවශ්ය මූලික හේතුවයි.
🌺අප මහා බෝසතාණන් වහන්සේ අතීත ආත්ම භාව වල ආචාර්යවරයන් සේ සිටින අවස්ථාවන් වල තම සිසුන්ට ශිල්පය දායාද කිරීමේදී මහත් උනන්දුවෙන් මනා ලෙස සකස් කොට සිදු කර තිබේ. එහි විපාක ගැන සඳහන් විස්තරය ලක්ඛණ සූත්රයේ අපට හමුවේ.
"මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්ය වූයේ ම සකස් කොට උගන්වන්නේ වෙයි. කිසියම් ශිල්පයක් වේවා, විද්යාවක් වේවා, ගුණධර්මයක් වේවා, කටයුත්තක් වේවා, ඉගැන්වීමේ දී ‘කිම? මාගේ මේ ක්රමයෙන් මොවුහු වහා දැනගන්නාහු ද? කිම? මාගේ මේ ක්රමයෙන් මොවුහු වහා පුහුණු වන්නාහු ද? කිම? මාගේ මේ ක්රමයෙන් බොහෝ කල් වෙහෙස නොගන්නාහු ද?’ යි සකස් කොට උගන්වන්නේ වෙයි. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ....(පෙ).... හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි
🌺හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්රවර්තීරාජයා වන්නේ ය. ....(පෙ).... රජ වූ විට හේ කුමක් ලබයි ද? රජවරුන්ට යෝග්ය වූ රාජාංගයන් වූ, රාජ පරිභෝගයන් වූ, රජවරුන්ට ගැලපෙන්නා වූ යම් යම් දේ ඇද්ද, ඒවා වහා ලබන්නේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.
ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? ශ්රමණයන්ට යෝග්ය වූ, ශ්රමණයන්ගේ අංගයන් වූ, ශ්රමණ පරිභෝග වූ, ශ්රමණයන්ට නිසි වූ, යම් යම් දේ ඇද්ද, ඒවා වහා ලබන්නේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.
ලක්ඛණ සූත්රය - දීඝ නිකාය...
🌺බලන්න අප මහා බෝසතාණන් වහන්සේ පෙර ජීවිත වල ආචාර්යවරු ව සිටියදී කෙතරම් උනන්දුවෙන් සකස් කොට ශිල්ප හදාරවා තිබෙනවාද කියා. එනිසා ම සසරේ ලැබූ විපාක අනන්තයි.
තමන් ශිල්ප සකසා හදාරවයි නම් තමන්ටද එය පෙරලා සසරේ පැමිණේ. සසරේ තමන්ට ඉතා පහසුවෙන් ශිල්ප ඉගෙනීමට හැකියාව අනිවාර්යයෙන් ම ලැබෙනු ඇත. අප මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ ආචාර්යවරු තොල් සොළවා යමක් කියයිද එසැනින් ම කාරණා තේරුම්ගෙන විස්තර වශයෙන් අවබෝධ කරන්නට දක්ෂව සිටියහ. එසේ වීමට හේතුව තමන් සසරේ මැනවින් ශිල්ප හදාරවා තිබීම විය යුතුය.
ඔබත් ගුරු වෘත්තියෙන් පින් රැස් කරගන්නා කෙනෙකු වෙන්න. දරුවන් කෙරෙහි මුදිතාවෙන් ම ශිල්ප කියා දෙන්න. සකස් කොට ශිල්ප කියා දෙන්න. නිවැරදි දේම කියා දෙන්න. ලාභ ප්රයෝජන නොතකා ශිල්ප කියා දෙන්න තම දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන අයුරු දැක හදවතින් ම සතුටුවන ගුරුවරයෙක් වෙන්න. එයින් ඔබට අප්රමාණ පින් රැස් වෙනු ඇත.
☸️සියළුදෙනා නිදුක් වේවා...🙏මගෙ රට ආරක්ෂා වේවා...
☸️මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්යකර්මයට ඔබත් දායක වන්න.☸️
🌹තෙරුවන් සරණයි🌹