May 27, 2020

දාන පාරමිතාව

පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් දෙයක් කම් පල සලකා දීම දාන නම් වේ. අභිධර්ම ක්‍රමයෙන් කියත හොත් තමා අයත් දෙය දීම් වශයන් උපදනා චේතනාව දාන යැයි කියනු ලැබේ.

https://teletype.in/@dharma_dana/Id8GGM23T

දද

ආහාර පාන වස්ත්‍රාදි දාන වස්තූන්ට ද දාන යන නම කියති. මෙහි එය අදහස් කරනු නො ලැබේ. ගුණාදියෙන් තමාට උසස් අයට ගෞරව පෙරදැරිව කරන දීම පූජා නම් වේ. ගුණාදියෙන් තමා හා සම වූවන්ට ද පහත් වූවන්ට ද උපකාර වශයෙන් මෛත්‍රී කරුණා පෙරදැරිව දීම අනුග්‍රහ නම් වේ. ණයට දීම, ණය ගෙවීම, පඩි දීම, බදු ගෙවීම යනාදිය පූජා හෝ අනුග්‍රහ නොවන බැවින් දාන සංඛ්‍යාවටනො ගනු ලබේ. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් පවත්වන ලද දානය ම බෝධිත්‍රය අතුරෙන් යම් කිසිවක් හෝ නිවන හෝ පතා කරන කල්හි දාන පාරමිතාව නම් වේ. චර්‍ය්‍යාපිටකාර්ථ කතාවෙහි වනාහි:

"කරුණූපාය කොසල්ල පරිග්ගහිතා අත්තූපකරණ පරිච්චාග චේතනා දානපාරමිතා" යයි කරුණාවෙන් හා උපා දන්නා නුවණින් වැළඳ ගන්නා ලද ආත්මෝපකරණ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාව යයි දක්වා තිබෙන්නේ මහා බෝධි සත්ත්වයන්ගේ දාන පාරමිතාව ය.

ලොවුතුරා බුදුවීමට විවරණ ලත් මහ බෝසත්හු එදින ම, "කුමක් කිරීමෙන් බුදු විය හැකි ද? බුදුවන්නට කල යුතු දේවල් කවරහු දැ" යි සිය නැණින් සොයති. එසේ බුද්ධ කාරක ධර්මයන් සොයන මහබෝසතුන් විසින් පළමු කොට දැක පළමුවෙන් සමාදන් වන්නා වූ ධර්මය දාන පාරමිතාව ය.

"හන්ද බුද්ධකරෙ ධම්මෙ විචිනාමි ඉතො චිතො

උද්ධං අධො දසදිසා යාවතා ධම්මධාතුයා.

විචිනන්තො තදා දක්ඛිං පඨමං දානපාරමිං

පුබ්බකෙහි මහෙසීහි අනුචිණ්ණං මහාපථං

ඉමං ත්වං පඨමං තාව දළ්හං කත්වා සමාදිය,

දානපාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි"

මේ අප බෝසතුන් විවරණ ලැබ පාරමී ධර්මයන් සෙවීමේ දී දාන පාරමිතාව දැක සමාදන් වූ සැටි දැක්වෙන බුද්ධවංශ පාලියේ එන ගාථා තුනෙකි. ඒවායේ තේරුම මෙසේ ය:

මම දැන් මේ ධර්මධාතු සංඛ්‍යාත ලෝකයෙහි දෙව් ලොව ද මිනිස් ලොව ද යන සැම තැන ම දශ දිශාවෙහි ම ඔබ මොබ බුද්ධකාරක ධර්මයන් සොයමි.

සොයන්නා වූ මම එකල්හි පෙර බුදුවරයන් ගිය මහා මාර්ගය වූ දාන පාරමිතාව පළමු කොට දුටුයෙමි.

ඉදින් නුඹ සම්බෝධියට පැමිණෙනු කැමැත්තෙහි නම් පළමු කොට ම මේ දාන පාරමිතාව තද කොට ගනුව. දාන පාරමිතාව පුරව. - යනුයි.

දන් දීම සෑම දෙනාට ම කළ හැකි පහසු දෙයක් නොවේ. දන් දීමේ අපහසු කම දුප්පත් කම ම නොවේ. සුළු දෙයක් නොවටිනා දෙයක් තමනට ප්‍රයෝජනයක් නැති දෙයක් දීම සැමට ම කල හැකි වුවද, උසස් දෙයක්, වටිනා දෙයක්, දුනහොත් පාඩුවන තමාට ප්‍රයෝජනවත් දෙයක් දීම බොහෝ දුරට සිත දියුණු කරගත් - නුවණ දියුණු කරගත් අයට මිස, අන්‍යයන්ට නො කළ හැකිය. උසස් දේ නො දී, වටිනා දේ නොදී දාන පාරමිතාව සම්පූර්ණ නො කළ හැකිය. වටිනා දේ උසස් දේ දීම වනාහි යුද්ධයක් කිරීම සේ අමාරු වැඩක් බව "දානං ච යුද්ධං ච සමානමාහු" යනුවෙන් දක්වා තිබේ. උසස් දේ දීමේ දුෂ්කරත්වය දසණ්ණක ජාතකයේ මෙසේ දක්වා තිබේ. එය සත්තක නිපාතයේ ජාතකයෙකි.

පෙර බරණැස් නුවර විසූ මද්දව නම් රජෙක් ඉතා වටිනා දෙයක් දී එහි ආශාව නිසා රෝගාතුර විය. මානසික රෝගය බෙහෙත් වලින් සුව කළ නොහෙන බැවින් රජු සුවපත් කරනු පිණිස රජ මිදුලේ ක්‍රීඩා දැක්වීමක් කලහ. එහි එක් පුරුෂයෙක් දෙතිස් අඟලක් දිග තියුණු කඩුවක් ගිල්ලේය. රජ එය දැක පුදුම වී ලෝකයෙහි එයට වඩා තවත් දුෂ්කර දෙයක් ඇත්තේ දැ යි ඇමතියකුගෙන් විචාළේ ය. එකල්හි ඇමති තෙමේ -

"ගිලෙය්‍ය පුරිසො ලොභා අසිං සම්පන්න පායිනං

යොච වජ්ජා දදාමීති තං දුක්කරතරං තතො

සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානහි මාගධ"

මගධ රජ්ජුරුවනි, පුරුෂයෙක් ධන ලෝභයෙන් මුවහත් වූ අනුන්ගේ ලේ බොන්නා වූ කඩුව ගිලින්නේය. යමෙක් තමා අයත් දෙයක් අනුන්ට දෙමිය කියා නම් (දෙන්නට පොරොන්දු වේ නම්) එය කඩුව ගිලීමට වඩා දුෂ්කරය. ලෝකයෙහි ඇති අන් කරුණු සියල්ල ම පහසුය. දෙමි යයි කීම ම ඒ සියල්ලට දුෂ්කර වේ යයි කීයේ ය. එය අසා මගධ රජ අන් ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා තවත් දුෂ්කර දෑ ඇත්තේ දැයි විචාළේ ය. එකල්හි ඇමති තෙමේ කියනුයේ -

"න වාචමුපජීවන්ති අඵලං ගිරමුදීරිතං

යො ච දත්වා අවාකයිරා තං දුක්කරතරං තතො

සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ."

මගධ රජ්ජුරුවනි, වචනය නිසා ජීවත් වන්නෝ නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක් කී සැටියට ම වස්තු ලෝභය දුරු කොට කී දේ දෙයි නම් එය ම දුෂ්කර කාරණය ය. ලෝකයේ ඇති අන් සියල්ල ම පහසු යයි කීයේය. එය ඇසූ රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දුෂ්කර දෙයක් කළෙමි යි සතුටු වී ශෝකය තුනී කර ගෙන: සමීපයේ සිටි මහ බෝසත් සේනක පඬිතුමා ගෙන් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත්දැ යි විචාළේ ය. සේනක පණ්ඩිතයෝ කියන්නාහු-

"දදෙය්‍ය පුරිසො දානං අප්පං වා යදි වා බහුං

යො ච දත්වා නානුතප්පෙ තං දුක්කරතරං තතො

සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ"

මිනිස් තෙමේ ස්වල්ප වූ ද මහත් වූ ද දාන දෙන්නේය. යමෙක් උසස් දෑ වටිනා දෑ දී දුන් දෙය ගැන පසුව නො තැවේ නම්, එය ම දුෂ්කර කාරණය වන්නේ ය. මගධ රජ්ජුරුවනි, අන් සියල්ල ම එයට වඩා පහසු කරුණු යයි කීහ. මහ බෝසතුන් ගේ කීම අසා මගධ රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක් සම්පූර්ණ කළෙමිය. මා වැන්නකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසුය. ඒ තුන් වන දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතු යැයි සලකා ශෝකය දුරු කර ගත්තේ ය. දීමෙහි ඇත්තා වූ දුෂ්කරත්වය මේ කථාවෙන් දත හැකිය.

දීම කොතරම් දුෂ්කර කරුණක් වුව ද සම්බෝධියට පැමිණෙනු කැමතියන් විසින් එය කල යුතු ම ය. දන් දිය හැකි වන තරමට ධෛර්‍ය්‍යය දියුණු කර ගැනුමෙන් ද, නුවණ දියුණු කර ගැනීමෙන් ද, දීම පුරුදු කිරීමෙන් ද, උසස් දෑ දිය හැකි තත්වයට පැමිණිය හැකි ය. දාන පාරමිතා නො පිරිය හැකි තැනැත්තාට ඉතිරි පාරමිතා ද නො පිරිය හැකිය. දාන පාරමිතාව දියුණු කර ගත් තරමට ඉතිරි පාරමිතා ද පිරිය හැකි ය. දාන පාරමිතාව ගුණයන්ගේ ප්‍රතිෂ්ඨාව ය. දන් දීමට නො සමත් තැනැත්තා කෙරෙහි උසස් ගුණ නො පිහිටිය හැකි ය.

ඇතැමුන් දානය පහත් කොට සුළු කොට කථා කරන්නේ නො දැනීම හෝ කපටිකම හෝ නිසාය. දීම කෙනෙකුගේ ගුණ මැනීමේ කෝදුව ය. හැම ගුණයෝම පරිත්‍යාගය මුල් කොට ඇත්තෝය. ප්‍රාණඝාතයෙන් වැළකීම එක් ගුණයකි. රුපියලක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ රුපියලක ලාභය නිසා ද, රුපියලක අලාභය නිසා ද, ප්‍රාණඝාතය නො කරයි. එහෙත් ප්‍රාණඝාතයෙන් වැළකුම නිසා රුපියල් පහක දහයක අලාභයක් වත හොත් හේ ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් නොවේ. රුපියල් පහක් දහයක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තා ම එයින් වැළකීමට සමත් වේ. රුපියල් දහසක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ දහසක ලාභයටද ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් වේ. දහසකට වන අලාභය රැක ගැනීම පිණිස ද ඔහුට ප්‍රාණඝාතයෙන් වැළකිය හැකිය.

අඹුදරුවන් පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තාට අඹු දරුවන්ට හානි කරන අඹු දරුවන් නසන්නට තැත් කරන සතුරා නොමරා ප්‍රාණ ඝාතයෙන් වැළකිය හැකිය. ජීවිතය පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තා හට දිවි නසන්නට තැත් කරන සතුරා නො නසා ප්‍රාණඝාතයෙන් වැළකිය හැකි ය. මෙසේ ඒ ඒ පුද්ගලයන්ට කවර ගුණ ධර්මයක් වුවත් පිරිය හැකි වන්නේ, ගුණ ධර්මයෙහි පිහිටා සිටිය හැකි වන්නේ ත්‍යාග ශක්තියේ හැටියට බව දත යුතුය.

ගුණ ධර්මයන් ගේ වටිනා කම, ප්‍රමාණ කරනු ලබන්නේ ද ත්‍යාගයෙනි. ශතයක් වත් අලාභය ඉවසීමේ ශක්තිය නැති තැනැත්තා විසින් සිල් සමාදන් වී නිකන් සිටින කාලයේ කීමට පමණක් රක්නා ශීලය ශතයකුදු නො වටනේය. රුපියලක් රැක ගැනීමට හෝ රුපියලක් ලබා ගැනීමට හෝ සිකපදය නො ඉක්ම වන්නා ගේ ශීලය රුපියලක් වටනේය. රුපියල් සියයක් දහසක් දසදහසක් ලක්‍ෂයක් කෝටියක් නිසා කඩ නො කරන්නා වූ ශීලය ඒ ඒ තරමට වටනේය. අඹු දරුවන් නිසා නො කඩ කරන ශීලය අඹු දරුවන් පමණ ද, ශරීරාවයවයන් නිසා නො කඩ කරන ශීලය ශරීරාවයවයන් පමණද, ජීවිතය නිසා නො කඩ කරන ශීලය ජීවිතය පමණ ද වටිනා බව දත යුතුය. ඉතිරි ගුණ ධර්මයන් ගේ වටිනා කම් ද කියන ලද්දට අනුව තේරුම් ගත යුතුය. මෙසේ ත්‍යාග ශක්තිය ම ගුණ ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාව ද මිම්ම ද වන බැවින් දාන පාරමිතාව ගුණ ධර්මයන් ගේ රජ බව කිව යුතු ය. එබැවින් මහ බෝසත්හු පළමු කොටම එය සමාදන් වෙති.

දාන පාරමිතාව පාරමීන්ගේ රජ වතු දු, බෞද්ධයන් සැම දෙන නිවන් පතන නමුදු, වර්තමාන බෞද්ධයන්ගෙන් වැඩි දෙනෙක් දාන පාරමිතාවේ ඉතා පහත් තැනක සිටින්නෝ ය. දීමේ ශක්තිය තබා තව ම බොහෝ බෞද්ධයන්ට දාන කථාව ඇසිය හැකි ශක්තියවත් ලැබී නැත. ඔවුහු දන් දීම ගැන කථා කළ හොත් බණ කියුව හොත් ධර්මකථිකයාට පවා බැණ බැණ යෙති. දාන කථා ශීල කථා ස්වර්ග කථාදිය පිළිවෙළින් කියමින් දහම් දෙසීම කළ යුතු වුවද ඔවුන්ගේ කරදරය නිසා වර්තමාන ධර්මකථිකයනට දාන කථාව හැර දමා දහම් දෙසන්නට සිදු වී තිබේ. ගිහියන්ගේ තත්ත්වය පමණක් නොව මේ අතින් පැවිද්දන්ගේ තත්වය ද සංවේග ජනකය.

අකීර්ති තාපසයන් වහන්සේ තමන් වහන්සේට වළඳන්නට තුබූ ආහාරය පිළිවෙළින් තෙදිනක් තමන් නිරාහාරව සිටගෙන දන් දුන්නාහ. අපේ වර්තමාන පැවිදි උතුමන් වහන්සේලා ගෙන් ඇතැමෙක් දීම තමන් විසින් කළ යුත්තක් බව පවා නො දනිති. දීම ගිහියන්ට මිස පැවිද්දන්ට අයත් නොවන වැඩක් සැටියට ඔවුහු සිතති. මේ තත්ත්වයෙන් නො නැඟී සිටින තෙක් ඔවුනට නිවනට ලං විය හැකි නො වේ.

දාන පාරමිතාව පිරිය යුතු ආකරය

සැපයට හේතුවන උපකරණයෝ ය, ශරීරාවයවයෝ ය, ජීවිතය ය යන මේවා පරිත්‍යාග කිරීමෙන් ද, අන්‍යයන්ට පැමිණියා වූ ද, ඉදිරියට පැමිණිය හැකි වූ ද, භය දුරු කිරීමෙන් ද, ධර්මෝපදේශ දීමෙන් ද, දාන පාරමිතාව පිරිය යුතුය.

දන් දීම නුවණින් කළ යුත්තකි. ඒ ගැන දත යුතු කරුණු රාශියෙකි. සුදුසු ආකාරයන් නොසලකා, දුන්නා වීමට පමණක් දෙන දානයේ වටිනා කමක් නැත. නුවණින් ආරක්ෂිත නො වූ එබඳු දීම් පාරමිතා සංඛ්‍යාවට ද නො පැමිණේ. පාරමිතා කුශලය නුවණින් හාත්පසින් ගන්නා ලද්දක් ආරක්ෂා කරන ලද්දක් විය යුතු බැවින් පාරමිතා කුශලයක් වනු පිණිස දෙන තැනැත්තා සුදුසු සැටියට දෙන්නට දැන ගෙන ම දීම කළ යුතුය.

දෙන තැනැත්තා විසින් ප්‍රතිග්‍රාහකයන්ගේ තත්ත්වය සලකා තමාට වඩා ගුණාදියෙන් උසස් ප්‍රතිග්‍රාහකයනට පූජා වශයෙන් දීම කළ යුතුය. අනුග්‍රහ කිරීමට සුදුසු අයට අනුග්‍රහ වශයෙන් දිය යුතුය. ඒ දෙයාකාරයෙන් ම දීමට සුදුසු ප්‍රතිග්‍රාහකයාට දෙපරිද්දෙන් ම දිය යුතුය.

දාන වස්තුව කෙරෙහි ලෝභය මඳකුදු ඉතිරි කර නො ගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතුය. එය ද පහසු කාර්‍ය්‍යයක් නොවේ. ලෝභය ඉතිරි වී තිබෙන බව දායකයාට දැන ගැනීම ද පහසු නැත. දෙන බොහෝ දෙනා දුන් දෙය පිළිබඳ ලෝභය ඉතිරි කර ගෙන දෙන නමුත් ඒ බව ඔවුහු නො දනිති. "අසවල් හාමුදුරුවන්ට අසවල් පන්සලට මා මෙ පමණ දී තිබෙනවා ය. මෙ පමණ වැඩ කර තිබෙනවා ය. එහෙත් මට අසවල් දෙය දුන්නේ නැත. අසවල් දෙය කළේ නැත" ය යි ඇතැම් දායක භවතුන් භික්ෂූන්ට දොස් කියනු දක්නට ලැබේ. ඔවුන් එසේ දොස් කියන්නේ දුන් දෙය ගැන ආශාව හෙවත් බලාපොරොත්තුව ඉතිරි කර ගෙන දුන් නිසාය.

ඇතැම් භවත්හු එබඳු කරුණු නිසා ඉදිරියට දීම නවත්වති. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ ඒ භවත්හු දාන වස්තුව ගැන බලාපොරොත්තුව සම්පූර්ණයෙන් හැර දීමක් කරන්නට ම නො කැමති බව ය. දීමෙන් පසු තමන් දුන් දෙයට වූ දෙය, කළ දෙය, සොයන්නෝ ද ආශාව ඉතිරි කර ගෙන දුන් අය ය. දුන් දෙය පිළිබඳ ආශාව සම්පූර්ණයෙන් ම දුරු වුණා ද ඉතිරි වුණා ද යන බව දෙන අවස්ථාවේ දී දත නො හැකිය. ඉතිරි වී ඇති බව තේරුම් ගත හැකි වන්නේ එබඳු සිදුවීම් වල අනුසාරයෙනි. දෙන්නා වූ පින්වත්හු මේ සියුම් කරුණු තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා. ආශාව ඉතිරි කරගෙන දෙන දාන උසස් දානයෝ නො වෙති.

දන් දීම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් කිරීමකි. අනුග්‍රහයක් කිරීමකි. දෙන සෑම දීමකින් ම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් සිදු නො වේ. ඇතැම් දීම්වලින් ප්‍රතිග්‍රාහකයන්ට සිදුවන්නේ අලාභ හා කරදරය. එබඳු දීම්වල ද වටිනා කමක් නැත. දිය යුත්තේ එයින් ප්‍රතිග්‍රාහකයාට හෝ අනෙකකුට හෝ විපතක් කරදරයක් අලාභයක් නො වන සැටියටය. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් වන සැටියට ම ය. ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නො වන සැටියට ද, අලාභහානි වෙන සැටියට ද දෙන දානය, නො දීම ම යහපති. රෝගියකුට අපථ්‍යාහාරයක් අපථ්‍ය බෙහෙතක් දීම වැනි, ළදරුවකුට කැපෙන පිහියක් දීම වැනි දාන දීම නපුරකි.

ඇතැම් බෞද්ධයෝ ස්වකීය විහාරයෙහි ලෙහෙසියෙන් ආහාරයක් වළඳන භික්ෂුවට එය කර ගන්නට නො දී බොහෝ දුර කැඳවාගෙන ගොස්, වෙහෙසට පත් කරවා මහා සංග්‍රහයක් සැටියට සිතා ආහාරයක් දෙති. එබඳු දාන වලින් ප්‍රතිග්‍රාහකයාට වන ලාභය කරදර වීම පමණෙකි. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් නොවන කරදරයක් ම වන එබඳු දාන දීම ම අනුන්ට කරන අවැඩකි. සමහර නිමන්ත්‍රණවලට යාමෙන් ආහාර ටිකක් හා නොවටිනා යම්කිසි සුළුදෙයක් ලැබෙතත් දවසක දෙකක වැඩ පාළු වීමෙන් ප්‍රතිග්‍රාහකයාට අලාභ වන ලෙස දීම ද අනුන්ට නපුරක් කිරීමෙකි.

ප්‍රතිග්‍රාහකයාට තමාගේ වැඩ පාළුවීමෙන් වන අලාභයට වඩා මහත් වූ ද, කරදරයට වඩා ප්‍රයෝජනවත් වූ ද, වටිනා සංග්‍රහයක් කිරීමට නම් දුර බැහැර කැඳවාගෙන ගොස් දීම ද වටනේ ය. යම්කිසි වස්තු වර්ගයක් වුවමනා පමණටත් වඩා ඇතියකුට ඒ දෙය ම දීම ද නිෂ්ඵල ය. පැවිද්දකුට කබායක් දීම වැනි, ගිහියකුට පාත්‍රයක් සිවුරක් දීම වැනි ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නැති දෑ දීම ද සංග්‍රහයක් නො වේ. බොහෝ දෙනෙකුට එක් දෙයක් දීම ද, ප්‍රතිග්‍රාහකයාගේ වුවමනාව නො පිරිමැසෙන ලෙස මඳ කොට දීම ද නිෂ්ඵල ය. එබඳු දීම් වල ද වටිනාකමක් නැත. කෙනකුට ආහාරයක් දෙත හොත් කුසගින්න නිවෙන පමණට දිය යුතු ය. වස්ත්‍රයක් දෙත හොත් ප්‍රතිග්‍රාහකයාට හැඳීමට හෝ පෙරවීමට හෝ අන් ප්‍රයෝජනයකට හෝ සෑහෙන වස්ත්‍රයක් දිය යුතුය.

දෙන තැනැත්තා විසින් ගිහියකුට දෙත හොත් ගිහියාට ප්‍රයෝජනවත් දෙයක් ද, පැවිද්දකුට දෙත හොත් පැවිද්දාට ප්‍රයෝජනවත් දෙයක් ද, ස්ත්‍රියකට දෙත හොත් ස්ත්‍රියකට ප්‍රයෝජනවත් දේ ද, පුරුෂයකුට දෙත හොත් පුරුෂයකුට ප්‍රයෝජනවත් දේ ද, බාලයකුට දෙත හොත් බාලයාට ප්‍රයෝජනවත් දෙය දො, තිරිසනකුට දෙත හොත් තිරිසනාට ප්‍රයෝජනවත් දෙය ද දිය යුතුය.

සත්ත්ව හිංසාවට පාවිච්චි කරන ආයුධ විෂාදිය නො දිය යුතු ය. මත්පැන් නො දිය යුතුය. අනර්ථයට හේතු වන ක්‍රීඩාභාණ්ඩාදිය නො දිය යුතුය. රෝගීන්ට අසත්ප්‍රාය ආහාරාදිය නො දිය යුතු ය. සත්ප්‍රාය දෙය වුව ද පමණ ඉක්මවා ඔවුනට නො දිය යුතුය. ගවාදි සතුන් දෙන කල්හි ඔවුනට නො සලකන අයට හා හිංසා කරන අයට නො දිය යුත්තාහ. කුනු වූ දිරූ දෙයක් අහක දමන්නාක් මෙන් අනාදරයෙන් නො දී ප්‍රතිග්‍රාහකයාට යහපතක් කිරීමේ අදහසින් කරුණා මෛත්‍රියෙන් ම දිය යුතු ය.

දාන වස්තුව පිළියෙල කිරීමේ දී ද දීමෙහි දී ද සිත පහදා ගෙන දිය යුතුය. දුන් පසු ද සිත පහදා ගත යුතුය. දුන් දෙය ගැන නැවත සොයන්නට නොයා යුතු ය. ප්‍රතිග්‍රාහකයන් නො වෙහෙසවා දිය යුතු ය. ප්‍රතිග්‍රාහකයන් ගෙන් හෝ අනිකකුගෙන් හෝ ප්‍රශංසා බලාපොරොත්තුව නො දිය යුතුය. ප්‍රත්‍යුපකාර බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. දීමෙන් සම්බෝධිය හෝ නිවන හැර අන් සැපතක් බලාපොරොත්තු නොවිය යුතුය. පැවිද්දන්ට දෙන කල්හි මා දෙන වස්තුවෙන් මුන් වහන්සේලා සුඛිත ව පහසුවෙන් පිළිවෙත් පුරා තම තමන්ගේ අභිමතාර්ථය සිදු කර ගනිත්වා යි සලකා දිය යුතුය. ගිහියන්ට දෙන කල්හි මාගේ වස්තුවෙන් මොවුහු සුඛිත වෙත්වායි, සලකා දිය යුතුය. තමන්ගේ දානය පිළිගත් අය ඉන් පසු කුමක් කෙරෙත් දැ යි වැඩි දුරට සොයන්නට නො යා යුතුය. එසේ කරන්නට යාමෙන් අපර චේතනාව නරක් වී කරගත් පිනේ ශක්තිය ද හීන විය හැකිය.

දුශ්ශීල දානය

මෙකල ඇතැමෙක් දුශ්ශීල දානය මහා පාපයකැ යි මහා අපරාධය කැ යි හඬ නගති. බුදුරජාණන් වහන්සේ දක්ෂිණාවිභංග සූත්‍රයෙහි දානමය කුශලය කුඩා මහත්වීම් වශයෙන් දක්ෂිණාර්හයන් හෙවත් ප්‍රතිග්‍රාහකයන් බෙදා දක්වා තිබේ. දුන හොත් දෙන තැනැත්තාට පව් සිදුවන නො දිය යුතු පුද්ගලයකු එහි හෝ අන් තැනක හෝ දක්වා වදාරා නැත. කවරකුට වත් නො දිය යුතු යයි බුදුන් වහන්සේ කොතැනකදී වත් නො වදාළ සේක. යමෙක් කාහට වුවත් නො දීමට අනුශාසනය කෙරේ නම්, හේ ප්‍රතිග්‍රාහකයාගේ ලාභය නැති කිරීමෙන් හා දායකයාගේ කුශලය නැති කිරීමෙන් ද පාපයක් කර ගන්නේ ය. තමාගේ සත්පුරුෂ ගුණය ද නැති කර ගන්නේ ය. දන් දීම් වැළැක්වීම ගැන බුදුන් වහන්සේ වදාරා තිබෙන්නේ මෙසේ ය.

"යො ඛො වච්ඡ, පරං දානං දදන්තං වාරෙති. සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො, කතමෙසං තිණ්ණං? දායකස්ස පුඤ්ඤන්තරායකරො හොති. පටිග්ගාහකානං ලාභන්තරාය කරො හොති, පුබ්බෙව ඛො පනස්ස අත්තා ඛතො ච හොති උපහතොව."

(අංගුත්තර නිකාය - තික නිපාත)

"වච්ඡය, යමෙක් අනුන්ට දන් දෙන්නකු එයින් වළක්වා ද හේ තිදෙනකුට අන්තරාය කරන්නේ වේ. තිදෙනකුගේ වස්තුව පැහැර ගන්නා සොරෙක් වේ. කවර තිදෙනකුට හේ අන්තරාය කෙරේ ද? දායකයාගේ පිනට අන්තරාය කෙරේ. ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අන්තරාය කරන්නේ වේ. පළමුවෙන් තමා ගේ සත්පුරුෂ ගුණය හාරා දැමූයේ වේ. සත්පුරුෂ ගුණය නැති කළ කෙනෙක් වේ" ය යනු එහි තේරුම යි.

උග්ග සිටු තුමාගේ චරිතය.

වැදෑ රට හස්ති ග්‍රාමයෙහි විසූ උග්ග සිටු තුමා ගේ චරිතය ද දන් දෙන්නවුන් විසින් සැලකිය යුත්තකි. එය අංගුත්තර නිකායේ අෂ්ටක නිපාතයේ ගෘහපති වර්ගයේ දක්නා ලැබේ. දිනක් තථාගතයන් වහන්සේ වැදෑ රට හස්ති ග්‍රාමයෙහි වැඩ වෙසෙන සේක්, උග්ග සිටු තුමා ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඇති කෙනෙකැ යි වදාළ සේක. එය ඇසූ එක් භික්ෂුවක් උග්ග සිටු තුමා වෙත ගොස් "මහතාණෙනි, ඔබ කෙරෙහි ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඇතහ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. පින්වත! ඔබ කෙරෙහි ඇති ඒ ආශ්චර්‍ය්‍ය කරුණු මොනවා දැ යි අපි දැන ගනු කැමැත්තම්හ. අපටද ඒවා කියනු මැනව" යි කීහ.

උග්ග සිටුතුමා තමා කෙරෙහි ඇති ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඒ භික්ෂුවට ප්‍රකාශ ‍කෙළේය. භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ වෙත ගොස් උග්ග සිටු තුමා කී කරුණු උන්වහන්සේට සැළකළහ. තථාගතයන් වහන්සේ ඒ සියල්ල එසේ ම යයි ස්ථිර කළ සේක. පිළිගත් සේක. ඒවා දනු කැමැත්තන් විසින් අංගුත්තර නිකායෙන් බලාගත යුතුය. ඒවායින් එක් කරුණක් දැක්වෙන්නේ මෙසේ ය.

"අනච්ඡරියං ඛො පන භන්තෙ, සංඝෙ නිමන්තිතෙ දෙවතා උපසංකමිත්වා ආරොචෙන්ති, අසුකො ගහපති භික්ඛු උභතො භාග විමුත්තො, අසුකො පඤ්ඤා විමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨිප්පත්තෝ, අසුකො සද්දාවිමුත්තො, අසුකො සද්ධානුසාරි, අසුකො ධම්මානුසාරි, අසුකො සීලවා කල්‍යාණ ධම්මො, අසුකෝ දුස්සීලො පාපධම්මොති, සංඝං ඛො පනාහං භන්තෙ පරිවිසන්තො නාභිජානාමි එවං චිත්තං උප්පාදෙතා, ඉමස්ස වා ථොකං දෙම ඉමස්ස වා බහුකන්ති, අථඛ්වාහං භන්තෙ සමචිත්තොව දෙමි. අයං ඛො මෙ භන්තෙ ජට්ඨො අච්ඡරියො අබ්භූතො ධම්මො සංවිජ්ජති."

මේ උග්ග සිටුතුමා ඔහුගේ එක් ආශ්චර්‍ය්‍ය කරුණක් ඒ භික්ෂුවට සැලකළ සැටි දැක්වෙන අංගුත්තර නිකායේ එන පාඨයෙකි. ඒ පාඨයෙන් දැක්වෙන්නේ උග්ග සිටුතුමා සංඝයා හට ආරාධනා කොට දන් දෙන්නට සැරසෙන විට රාත්‍රියෙහි දෙවියන් අවුත් ඒ සිටුවරයාට පසු දින දන් පිළිගැනීමට පැමිණෙන භික්ෂූන්ගේ තතු කියන බවත්, එතුමා "මේ භික්ෂුව සිල්වත්ය. මේ භික්ෂුව දුශ්ශීල ය" යි දැන ගෙන ම දන් දෙතත් සිල්වතුන්ට වැඩි කොට දෙන්නටත් දුශ්ශීලයන් ට මඳ කොට දෙන්නටත් නො සිතා, රහත් නො රහත් සිල්වත් දුසිල් සැමට සම සිතින් සම සේ දෙන බවත් එතුමා කෙරහි ඇති සවන ආශ්චර්‍ය්‍ය කරුණ බව ය.

උග්ග සිටුතුමා අනාගාමී ආර්‍ය්‍ය පුද්ගලයෙකි. දුශ්ශීලයනට දීම පාපයක් නම් අනාගාමී පුද්ගලයෙකු වූ උග්ග සිටුතුමා දැන දැන ම කෙසේ නම් දුශ්ශීලයනට දන් දේ ද? නො දේ ම ය. ඇතැමුන් කියන සැටියට දැන දැනම දුශ්ශීලයනට දන් දීම පපයක් නම්, බුදුන් වහන්සේ එය උග්ග සිටුතුමා ගේ මහා ගුණයක් කොට ආශ්චර්‍ය්‍ය කරුණක් කොට නො වදාරන සේක. මේ කාරණයෙන් පෙනෙන්නේ දුශ්ශීලයන් හැර සිල්වතුන් තෝරා දන් දෙනවාට වඩා හැමට ම දීම උසස් බව ය. දුශ්ශීලයන්ට දන් දීම පාපයකැ යි කියන්නවුන් එසේ කියන්නේ ආගම නො දැනීම නිසා හෝ ඊර්‍ය්‍යාව නිසා හෝ වඩ වඩා ලාභ උපදවා ගැනීම පිණිස හෝ විය යුතුය.

කෛරාටික කම වැඩි වැඩි පමණට වඩ වඩා සිල්වතකු සැටියට ලොවට පෙනී සිටිය හැකි ය. එබැවින් කෙනෙක් සිල්වත් ද දුශ්ශීල ද කියා තේරුම් ගැනීම පහසු නොවේ. ලෝකයා විසින් උග්‍ර සිල්වතුන් සැටියට සලකන අය අතර දුශ්ශීලයන් සිටිය හැකි ය. දුශ්ශීලයන් කොට සලකන අය අතර හොඳ සිල්වතුන් ද සිටින්නට බැරි නැත. කෙනෙක් සැබෑවට සිල්වත් ද? නැත ද? යන බව තේරුම් ගත හැකි වන්නේ බොහෝ කල් ළඟින් ආශ්‍රය කළ හොත් ය. එසේ කළත් ඒ බව කල්පනා කරන්නකුට මිස සැමට ම තේරුම් ගත නො හැකි ය. ධර්ම විනය දෙක දත් නුවණැතියකුට මිස අනිකකුට තේරුම් නො ගත හැකිය. එ බැවින් බුදුන් වහන්සේ කොසොල් රජතුමාට,:

"සංවාසෙන ඛො මහාරාජ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං මනසි කරොතා නො අමනසිකරොතා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන"

යනු වදාළ සේක. අනුන් ගේ තතු සොයා ගැනීම පහසු කාර්‍ය්‍යයක් නො වන බැවින් දානපාරමිතාව පුරන පින්වතා විසින් කවරකුට වුව ද දී තමා ගේ පාරමිතාව සම්පූර්ණ කර ගත යුතු ය. දන් දීමට සිත නමා ගැනීමට දුෂ්කර වී තිබෙන්නේ බොහෝ දෙනාට අනුන් ගේ නුගුණ සෙවීම ම පුරුදු වී තිබෙන බැවිනි. අනුන් ගේ අගුණ සොයන අගුණ ගණන් ගන්නා ස්වභාවය හැර දමා අනුන්ගේ ගුණ සොයන කෙනකු විය යුතු ය. ලෝකයෙහි ගුණයක් ඇත්තේ ම නැති අගුණ ම ඇති පුද්ගලයෙක් සෙවිය නො හැකි ය. යම් කිසි එක් ගුණයක්වත් කා කෙරෙහිත් ඇත. ප්‍රතිග්‍රාහකයා ගේ අගුණ සිහිකරන්නට නො ගොස් ඔහු කෙරෙහි ඇති ගුණයක් සොයා සිත පහදා ගැනීමෙන් දීම කළ හැකි වේ.

ප්‍රතිග්‍රාහකයා හරක් මරන්නේ නම් හේ මිනී නො මරන්නේය, මිනී මරන්නකුට වඩා මේ හරක් මරන්නා ගුණවතෙකැ යි සිතා ගත යුතු ය. ප්‍රතිග්‍රාහකයා මිනීත් මරන්නේ නම් ඔහු මා පියන් නො මරන්නේ ය‚ මා පියනුත් මරණ මේ ලෝකයෙහි මා පියන් නො මරන මොහු හොඳය යි සිතා ගත යුතු ය. මෙසේ අනුන්ගේ ගුණ දක්නට පුරුදු කර ගැනීමෙන් දාන පාරමිතාව පිරීම පහසු වේ. දීම කරුණාව පෙරදැරි කර ගෙන කරන්නා හට දුශ්ශීලයාට දීම වඩාත් පහසු ය.

සිල්වතා ය, දුශ්ශීලයා ය යන දෙදෙනාගෙන් වඩා කරුණාවට පාත්‍ර වන්නේ දුශ්ශීලයා ය. දුශ්ශීලයා දුශ්ශීල භාවයෙන් මෙලොව පිරිහෙයි. මරණින් මතු ද අපාගත වෙයි. එබැවින් හේ අනුකම්පා කළ යුත්තෙකි. මරණින් මතු අපාගත වී මහ දුකට පත් වන්නට සිටින මොහු මාගේ දානයෙන් මඳ සුවයක්වත් ලබාවා යි අනුකම්පා වශයෙන් දුශ්ශීලයාට දිය හැකි ය. දුශ්ශීලයාට දීම පාපයක යන ඇතැම් භවතුන් ගේ කීම ගැන මුළා වී සිල්වතුන් ම සොයන්නට නො සිට කා හට හෝ දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කෙරෙත්වා.

දානයේ ප්‍රභේද:

ත්‍රිවිධ දානය

ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත්වයන්ගේ ද සැපයට හේතු වන ආහාර පානාදි වස්තූන් කම්පල අදහා දීම ආමිස දාන නම් වේ. සත්ත්වයන්ගේ සැපයට හේතු වන නිරවද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තූහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තූන් ගේ වශයෙන් කියත හොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ.

සංක්ෂේපයෙන් කියත හොත් බාහිර වස්තු දානය ය, ආභ්‍යන්තරික වස්තු දානය යි ආමිස දානය දෙ වැදෑරුම් බව කිව යුතුය. ආහාර - පාන - වස්ත්‍ර - බෙහෙත් - කෙත් - වතු - රන් - රිදී - මුතු - මැණික් - මිල - මුදල් - ගේ - ඇඳ - පුටු - මේස - පැදුරු - කොට්ට - කැති - උදලු - නගුල් - වෑ - පොරෝ - පිහියා - මල් - සුවඳ - විලවුන් ආදී අවිඥානක වස්තූන් හා ඇත් අස්, මහිෂාදී සවිඥානක වස්තූන් ද දීම බාහිර දාන නම් වේ. ඇස් - ඉස් - මස් - ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවය ද දීම ආභ්‍යන්තරික වස්තු දාන නම් වේ.

අභය දානය යනු රජුන් ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි නපුරු සතුන්ගෙන් හෝ යක්ෂ ප්‍රේතාදි භූතයන්ගෙන් හෝ ගින්නෙන් දියෙන් සුලඟින් හෝ සත්ත්වයනට භයක් පැමිණි කල්හි ඉන් ඔවුන් මිදවීම හා අනාගතයට ඇති විය හැකි විපත් නො වනු පිණිස ආරක්ෂාව ඇති කිරීමත් ය.

ධර්ම දානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවන් නැති ව, අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව, කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම ය, ධර්ම කථිකයන් ට සත්කාර කොට බණ කියවීම ය, දහම් පොත් පත් සම්පාදනය කිරීමය, දහම් පොත් පත් මුද්‍රණය කරවා හෝ මිළයට ගෙන හෝ දීම ය, ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීම ය, ධර්මය උගන්නා ශිෂ්‍යනට ඒ සඳහා ආධාර කිරීම ය, දහම් හල් කරවීම ය, පොත් ගුල් පිහිටුවීම ය, තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිරවද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගැන්වීම ය, ඒවා උගන්වන තැන් ඇති කිරීම ය යන ආදිය සිදු කිරීම ය.

කරුණු කියා දී අබෞද්ධයන් බෞද්ධයන් කර වීම ය, බුදු සස්නෙහි නො පහන් අය පැහැද වීම ය, බෞද්ධ වූවන් සුචරිතයෙහි පිහිට වීම ය, සිල් සමාදන් නො වන්නවුන් සීල සමාදානයෙහි යෙදවීම ය, ගිහියන් පැවිදි කරවා බුදු සස්නට ඇතුළු කරවීම ය, පැවිද්දන් ශීලාදී ගුණයෙන් සම්පූර්ණ කිරීමෙහි යෙදවීම ය, රූපා - රූප ධ්‍යානයන් හා අභිඥා උපදවා ගැනීමෙහි උත්සාහවත් කරවීම ය, ශ්‍රාවක බෝධියෙන් නිවන් පතනුවන් විදසුන් වඩා මග පල ලබා ගැනීමෙහි උත්සාහ වත් කර වීම ය, ඒවාට උපදෙස් දීම ය, යෝගාවචරයනට අනුබල දීම ය යන මොහු ද ධර්ම දානයෝය.

චතුර්විධ දානය

චීවර දානය, පිණ්ඩපාත දානය, සේනාසන දානය, ගිලානපච්චය දානය යි විනය ක්‍රමයෙන් දාන සතරක් වේ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී ශික්ෂමානා යන මොවුන්ගේ පහසුව සඳහා චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලානප්පච්චය යන මේ වස්තු සතර කොටස පිළිගැනීමට හා පරිභෝග කිරීමට අවසර දී වදාළ සේක.

චීවර යනු භික්ෂුන් වහන්සේලා හඳින පොරවන වස්ත්‍රවලට හා උන්වහන්සේලාට කැප වූ අන්‍ය වස්ත්‍ර වලට ද බුදු සස්නෙහි ව්‍යවහාර කරන නමෙකි. චීවර නාමයෙන් හඳුන්වන ඒ වස්ත්‍ර දීම චීවර දාන නම් වේ.

අරුණෝදයේ පටන් ඉර මුදුන් වීම තෙක් කාලය බුද්ධාදීන් ආහාර වළඳන කාලය යි. පිණ්ඩපාත යනු ඒ කාලයෙහි පමණක් කැපවූ ආහාර පානයන්ට නමෙකි. පිණ්ඩපාත නාමයෙන් හැඳින්වෙන ආහාර පානයන් දීම පිණ්ඩපාත දාන නම් වේ.

සේනාසන යනු වාසය කරන ගෙවලට හා නිඳන හිඳින ඇඳ පුටු ආදී වස්තුන්ට නමෙකි. සේනාසන නාමයෙන් හඳුන්වන වස්තූන් දීම සේනාසන දාන නම් වේ.

ගිලානප්පච්චය යනු බෙහෙත් පිණිස ගන්නා වස්තූන්ට නමෙකි. බෙහෙත් පිණිස ගත හැකි වස්තු පිණ්ඩපාත නාමයෙන් හඳුන්වන වස්තු අතර ද ඇත්තේ ය. බෙහෙත් වතු දු ඒවා ගිලානප්පච්ය නාමයෙන් හඳුන්වන වස්තු කොටසට ඇතුළු නොවේ. ඒවා ගැන විශේෂ විභාග විනයෙන් දත යුතු ය. විනයෙහි ගිලානප්පච්චය නාමයෙන් හඳුන්වන භික්ෂූන්ට විකාලයෙහි ද කැපවූ වස්තූන් දීම ගිලානප්පච්චය දාන නම් වේ.

සවැදෑරුම් දානය

රූපදාන ය, සද්දදාන ය, ගන්ධදාන ය, රසදාන ය, පොට්ඨබ්බදාන ය, ධම්මදානය යි දානය අභිධර්‍ම ක්‍රමයෙන් සවැදෑරුම් වේ.

රූප දානය යනු පැහැය දීමයි. පැහැය හෙවත් වර්ණය දීමක් වශයෙන් සලකා නිල් - රතු - කහ සුදු ආදී පැහැයයන් ඇහි පුෂ්ප වස්ත්‍රාදි වස්තූන් ද ශරීරය වර්ණවත් කිරීමට පාවිච්චි කරන සුනු වර්ග - කල්ක වර්ග බෙහෙත් වර්ග ද , ගෘහ වස්ත්‍රාදි වස්තූන් වර්ණවත් කිරීමට ගන්නා සායම් වර්ග ද දීම රූප දාන නම් වේ.

සද්ද දානය යනු හඬ දීම ය. ශබ්ධය මල් පොකුරක් සේ අතින් ගෙන අනෙකකුගේ අතට දිය හැක්කක් නොවේ. ශබ්ධය පූජා කරමි යි තුනුරුවන් උදෙසා ගණ්ඨා බෙර ආදිය වැයීම ය, මිල දී පූජා පිණිස අනුන් ලවා වාදනය කරවීමය. ශබ්ද දානය වශයෙන් සලකා සුදුසු තැන්වල ගණ්ඨා ආදිය පිහිටවීම ය, ධර්ම කථිකයනට හඬ වැඩෙන - හඬ මිහිරි වන බෙහෙත් පිදීම ය, ධර්ම ඝෝෂා කිරීමය. ශබ්දදාන වශයෙන් සලකා බණ පිරිත් කීම ය, කියවීම ය යන ආදීහු ශබ්ධ දානයෝ ය.

ගන්ධදානය යනු සුවඳ දීම ය. ගන්ධය ද රූප ශබ්දයන් මෙන් ම වස්තුවෙන් උපුටා අතට ගෙන අනෙකකු අතට දිය හැකියක් නො වේ. ගන්ධ දාන වශයෙන් සලකා සුවඳ ඇත්තා වූ මල් ආදි වස්තූන් තුනුරුවනට පිදීම ද අන්‍ය ප්‍රතිග්‍රාහකයන්ට දීම ද ගන්ධ දානය ය.

මධුර තික්තාදි රසයන් දීම රස දානය ය. රසය ද ආහාරාදි වස්තුවෙන් උපුටා දිය හැක්කක් නො වේ. රසය දෙමි ය, මේ මාගේ රස දානය යි සලකා රසය ඇත්තා වූ ආහාර පානාදිය දීම රසදානය වේ.

ඵොට්ටබ්බ යනු සැපුණු කල්හි ශරීරයට සැප දුක් ඇති වන වස්තූන්ට නමෙකි. එක ම වස්තුව සැපීමෙන් ශරීරයට සැප දුක් දෙක ම ඇති වන බැවින්, දීම සඳහා සැපීමෙන් ශරීරයට සැපය පමණක් ඇති වන වස්තු කොටස් නැත. ඵොට්ඨබ්බ දාන වශයෙන් සලකා ශරීර සුඛයට හේතු වන වස්තු ඇඳ - පුටු - ඇතිරිලි - කොට්ට - මෙට්ට ආදිය දීම ඵොට්ඨබ්බ දාන ය.

රූප ශබ්දාදි අරමුණු පසට අයත් නො වන සියල්ල ම ධම්ම නම් වේ. ඒවායින් කවරක් හෝ දීම ධම්ම දාන නම් වේ. ආමිස දාන, අභය දාන - ධම්ම දාන යන තෙ වැදෑරුම් දානයෙහි කියැවෙන ධර්මදානය අනෙකකි. අභිධර්ම ක්‍රමයෙන් කරන දාන විභාගයේදී කියන මේ ධර්ම දානය අනෙකකි. තුන් ආකාර දානයට අයත් වූ ඇතැම් ආමිස දානය ද අභය දානය ද ධර්ම දානය ද ආරම්මණ භේදයෙන් කියන ධම්ම දානයට අයත් වේ.

ආරම්මණ භේදයෙන් කියන ධර්මදානය, ඕජා දාන - පාන දාන -ජීවිත දාන යන මොවුන් ගේ වශයෙන් දත යුතුය. කිරි - වෙඬරු - ගිතෙල් - මී පැණි - සකුරු - තලතෙල් ආදී ඕජා බහුල වස්තූන් ඕජා දාන වශයෙන් සලකා දීම ඕජා දාන නම් වේ. පිපාසාව සන්සිඳවීමේ අදහසින් පිපාසාව නසන පාන වර්ග දීම පාන දාන නම් වේ. ජීවිත දාන වශයෙන් සලකා දිවි පැවැත්වීමට වුවමනා ආහාර පාන බෙහෙත් ආදිය දීම ය, රෝගීන්ට වෙදුන් පමුණුවා දීම ය, බන්ධන වලට හසුවී සිටින සතුන් මිදවීම ය, දැල් ආදී සතුන් මැරීමේ උපකරණ විනාශ කරවීම ය යන ආදිය ජීවිත දාන නම් වේ. ඕජා දාන - පාන දාන - ජීවිත දාන යන මේවා ධර්ම දානයෝ ය. ධර්ම දාන දෙකක් ඇති බැවින් අවුල් විය හැකිය. අවුල් නොකර ගත යුතු ය.

දාන පාරමිතාවේ ප්‍රතිපත්තිය

සැපයට හේතු වන බාහිර වස්තූන් හා ශරීරාවයවයන් ද ජීවිතය ද පරිත්‍යාග කිරීම ය, සත්ත්වයනට පැමිණියා වූ ද පැමිණෙන්නට තිබෙන්නා වූ ද භය දුරු කිරීම ය, ධර්මෝපදේශ දීමෙන් සත්ත්වයනට අනුග්‍රහ කිරීම ය, පිදිය යුත්තන් පිදීම ය යන මේවා දාන පාරමිතාවේ ප්‍රතිපත්ති ය ය.

මහ බෝසතුන්ගේ දාන පාරමිතා ප්‍රතිපත්තිය මෙසේ ය - බාහිර වස්තූන් දෙන්නා වූ මහ බෝසත්හු යමෙක් ලබනු කැමති වේ නම් ඒ දෙය ඔහුට දෙති. ප්‍රතිග්‍රාහකයා නො පතන, ඔහුට නො වුවමනා දෙය නො දෙති. ඒ ඒ අයට වුවමනා වස්තූන් තුමූ ම දැන, ඉල්ලන්නට කලින් ම ද ඒවා දෙති. දෙන කල්හි ද ආලය ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් ම නිරපේක්ෂව දෙති. දිය යුතු වස්තු ඇත හොත් ප්‍රතිග්‍රාහකයාට සෑහෙන පමණට ම ප්‍රතිග්‍රාහකයාගේ වුවමනාව පිරිමැසෙන සැටියට ම දෙති. දාන වස්තුව මඳ කල්හි ඇති සැටියට දෙති.

අනුනට අනර්ථ විය හැකි මත්පැන් විෂ ආයුධාදිය නො දෙති. අනර්ථයට හේතු වන ප්‍රමාදයට හේතු වන ක්‍රීඩා භාණ්ඩාදිය නො දෙති. ගිලනුන්ට හා යාචකයන්ට අහිත වූ දෑ නො දෙති. පමණට වඩා ද නොදෙති. ගිහියන්ට සුදුසු දෑ ගිහියන්ට දෙති. පැවිද්දන්ට සුදුසු දෑ පැවිද්දන්ට දෙති. මාපියෝ ය, අඹු දරුවෝ ය, මිතුරෝ ය, දාසයෝය, කම්කරුවෝ ය යන මොවුන්ගෙන් කිසිවකුට පීඩාවක් නො වන සැටියට ම දෙති. උසස් දෙයක් වටිනා දෙයක් දෙන්නට ප්‍රතිඥා කොට සුළු දෙයක් නො වටනා දෙයක් නො දෙති. හුඟක් දෙන්නට ප්‍රතිඥා කොට මඳක් නොදෙති. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නො දෙති. ප්‍රත්‍යුපකාර බලාපොරොත්තුවෙන් නො දෙති. දීමෙහි දී සම්බෝධිය හැර අන් ඵලයක් බලාපොරොත්තු නො වෙති. යාචකයා හෝ දාන වස්තුව හෝ පිළිකුල් කොට නො දෙති.

දෙන තැනැත්තාට අලාභ කරන අවමන් කරන ගුණ නැති නො හික්මුණු යාචකයන්ට ද, අහක දමන්නාක් මෙන් නො දී ආදරයෙන් ම දෙති. කර්මය හා කර්ම ඵලය සඳහා ම දෙති. දුර සිට ගෙන්වා පැමිණි කල්හි පමා කොට දීම් ආදියෙන් යාචකයන් වෙහෙසවා නො දෙති. නො වෙහෙසවා ම දෙති. අනුන් රැවටීමේ අදහසින් හෝ බිඳවීමේ අදහසින් හෝ නො දෙති. අනුන්ට අනුග්‍රහ කිරීමේ ශුද්ධාධ්‍යාශයෙන් ම දෙති. දායකයාට කරදර කරන යාචකයන්ට ද රැවීමක් සැර කිරීමක් නො කොට ප්‍රිය වචනයෙන් කථා කොට ම දෙති.

යම් වස්තුවක් ගැන තමන් ගේ ආලය අධික බව දැනුණ හොත්, මහ බෝසත්හු අමාරුවෙන් වුව ද ප්‍රතිග්‍රාහකයන් සොයා ඒ දෙය ඉක්මනින් ම දෙති. ලෝභය වැඩෙන්නට නො දෙති. සුළු දෙයක් පමණක් ඇති කල්හි යාචකයකු පැමිණ ඒ දෙය ඉල්ලුවහොත් අකීර්ති පණ්ඩිතයන් තමන් නිරාහාරව සිට ගෙන දන් දුන්නාක් මෙන්, තමන් ගැන නො බලා යාචකයාගේ දුක තමන් බාර ගෙන තමන් පීඩා විඳිමින් යාචකයා සුවපත් කරති. යාචකයාගේ මනදොළ පුරවති.

ගවාදී සතුන් දෙන කල්හි ඔවුනට නො සලකන, වද දෙන අසත්පුරුෂයනට නොදී කරුණාවෙන් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා අයට ම දෙති. දාසයන් කම්කරුවන් අඹුදරුවන් දෙන කල්හි ඔවුන්ගේ කැමැත්ත නො ලබා ඔවුනට නො දන්වා නො දෙති. යක්ෂ රාක්ෂසාදීන්ට හෝ නපුරු මින්සුන්ට හෝ දැන දැන ඔවුන් නො දෙති. රජය දෙන කල්හි ද දැහැමින් සෙමෙන් රට පාලනය කරන සත්පුරුෂයෙකුට ම මිස ජනයා පෙළන රට වනසන අසත් පුරුෂයනට නො දෙති. මේ මහා බෝසතුන්ගේ බාහිර වස්තු දානයේ ප්‍රතිපත්තිය ය.

මහ බෝසතුන් ගේ අභ්‍යන්තර වස්තු දීමේ ප්‍රතිපත්තිය මෙසේය: දාසත්වයට පැමිණීම ය, අත් පා ලේ මස් ආදිය දීම ය යි අභ්‍යන්තර වස්තු දානය දෙවැදෑරුම් වේ. ලෝකයේ ඇතැම්හු කුසගින්න නිවා ගනු පිණිස හෝ යම්කිසි විශේෂ වස්තුවක් ලබනු පිණිස හෝ අනුන්ගේ දාසත්වයට පැමිණෙති. මහ බෝසත්හු තමන් තෘෂ්ණා දාසත්වයෙන් මිදෙනු පිණිස ද, ලොකයා තෘෂ්ණා දාසත්වයෙන් මුදවනු පිණිස ද, දාන පාරමිතාව පුරනුවස් තුමූ ම තමන්ගේ ආත්මභාවය අනුන්ට කැප කරති. බාහිර වස්තුවක් දෙන්නාක් මෙන් ම කිසිම පැකිළීමක් පසු බැසීමක් නැතිව, ලේ - මස් - අත් - පා ආදිය ශරීයයෙන් වෙන්කොට දෙති.

ආධ්‍යාත්මික වස්තූන් දෙන බෝසත්හු ඒවා නිෂ්ඵල වන ලෙස නො දෙති. යමකින් ප්‍රතිග්‍රාහකයා හට ඒකාන්තයෙන් ප්‍රයෝජන වන බව දත හොත් ඒ දෙය පමණක් ඔහුට දෙති. අනෙකක් නො දෙති. එතුමෝ මාරකායික දෙවියනට හෝ ප්‍රයෝජනයක් නැති ව හිංසාව පිණිස ඉල්ලන්නවුන්ට හෝ ඒවා නො දෙති. උමතුකම හෝ මෝඩකම හෝ නිසා ඉල්ලන්නවුන්ට ද නො දෙති. ප්‍රයෝජනයක් ඇති ව ඉල්ලන කෙනෙකු මුණ ගැසුණ හොත් එවැන්නන් දුර්ලභ බැවින් එකෙණෙහි ම දෙති.

දන් දීමෙන් මහ බෝසතුන් බලාපොරොත්තු වන කරුණු

ආමිස දානය දෙන්නා වූ මහ බෝසත්හු මේ දානයෙන් සත්ත්වයනට ආයුෂ - වර්ණ - සුඛ - බල - ප්‍රතිභාණාදිය හා අර්හත්වය ද නිපදවන්නෙමි යි ආහාර දෙති. සත්ත්වයන්ගේ තෘෂ්ණා පිපාසාව සන්සිඳවන්නෙමි යි පානයන් දෙති. ශරීරයේ රන්වන් පැහැය හා හිරි ඔතප් නමැති ආභරණයන් ද ලබමි යි වස්ත්‍ර දෙති. ඍද්ධි බලය හා නිර්වාණ සුඛය ලබනු පිණිස රථ වාහන දෙති. ශීල සුගන්ධය ලබනු පිණිස සුවඳ දෙති. බුද්ධ ගුණ ශෝභාව ලබනු පිණිස මල් හා සුවඳ දෙති. බෝධි මණ්ඩලය ලබනු පිණිස ආසන දෙති. තථාගත සෙය්‍යාව ඇතිවනු පිණිස යහන් දෙති. සත්ත්වයන්ට පිහිට විය හැකි වනු පිණිස ආවාස දෙති. පසැස් ලබනු පිණිස පහන් දෙති. ව්‍යාමප්‍රභාව පිණිස රූප දෙති. බ්‍ර‍හ්ම ස්වරය පිණිස ශබ්දය දෙති. සකල ලෝකයාට ප්‍රිය වනු පිණිස රසය දෙති. බුද්ධ සුඛුමාල භාවය පිණිස ස්ප්‍රෂ්ට දානය කෙරති. අජරාමර භාවය පිණිස බෙහෙත් දෙති. ක්ලේශ දාසත්වයෙන් මිදෙනු පිණිස දාසයනට නිදහස දෙති. සද්ධර්මාභිරතිය පිණිස නිරවද්‍ය ක්‍රීඩා රතියට හේතු වන වස්තූන් දෙති. සකල සත්ත්වයන් ම දරු බවට පමුණුවා ගනු පිණිස දරුවන් දෙති. සකල ලෝකයේ ම ස්වාමිත්වය පිණිස භාර්‍ය්‍යාවන් දෙති. මහාපුරුෂ ලක්ෂණ සම්පත්තිය පිණිස රන් රිදී මුතු මැණික් ආදිය දෙති. අනුව්‍යඤ්ජන සම්පත්තිය පිණිස නා නා විධ ආභරණයන් දෙති.

දහම් ගබඩාව ලබනු පිණිස වස්තු ගබඩා දෙති. ධර්මරාජ්‍ය ප්‍රතිලාභය පිණිස රාජ්‍යයන් දෙති. චක්‍ර ලක්ෂණයෙන් හෙබි පාදයන්ගෙන් මහබෝමැඩට ගමන් කළ හැකි වනු පිණිස පාදයන් දෙති. චතුරෝඝයෙන් එතර විය හැකි වනු පිණිස හා සත්ත්වයනට දහම් නැමති අත දිය හැකි වනු පිණිස අත් දෙති. ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ලබනු පිණිස කන්නාසාදිය දෙති. සමන්ත චක්ඛු නම් වූ සියල්ල දන්නා නුවණැස ලබණු පිණිස ඇස් දන් දෙති. දක්නා වූ ද, අසන්නා වූ ද, සිහි කරන්නා වූ ද, උවැටන් කරන්නා වූ ද, ජනයාට හිත සුව එළවන බුද්ධ ශරීරය ලබනු පිණිස ලේ මස් දෙති. සකල ලෝකයාට ම උතුම් වනු පිණිස උත්තමාංග නම් වූ හිස් දෙති.

එසේ දෙන්නා වූ බෝසත්හු අනේසන වශයෙන් නො දෙති. පරූපඝාතය පිණිස නො දෙති, භය නිසා නො දෙති, ලජ්ජාව නිසා නො දෙති, ප්‍රතිග්‍රාහකයන්ට කිපී නො දෙති. ප්‍රණීතය ඇති කල්හි එය සඟවා අප්‍රණීතය නො දෙති. තමන්ගේ උසස් බව පෙන්වීමට නො දෙති. අනුන් පහත් කිරීමට නොදෙති. ඵලය බලාගෙන නො දෙති. යාචකයන් පිළිකුල් කොට නො දෙති. අනාදරයෙන් නො දෙති. මනාකොට ම දෙති. සියතින් දෙති. සුදුසු කාලයෙහි ම දෙති. ගරු කොට දෙති. විභාගයක් නැති ව දෙති. තුන් කල්හි ම සොම්නසින් ම දෙති. දී නො පසුතැවෙති. ප්‍රතිග්‍රාහකයන් වශයෙන් මානාවමානය නො කොට දෙති. ප්‍රතිග්‍රාහකයන්ට ප්‍රිය කථාවෙන් ම දෙති. ආහාරය දෙන කල්හි වස්ත්‍රාදිය පිරිවර කොට දෙති. වස්ත්‍ර දෙන කල්හි ආහාරාදිය පිරිවර කොට දෙති. යානාදිය දෙන කල්හි ද එසේ ම පරිවාර වස්තූන් සමඟ දෙති. රූපදානය දෙන කල්හි ඉතිරි ආරම්මණයන් ද පිරිවර කොට දෙති. ශබ්ධ දානාදිය එසේම පිරිවර සහිත කොට දෙති.

මේ මහා බෝධිසත්ත්වයන් විසින් දානපාරමිතාව පුරන ආකාරය ය. එතරම් උසස් දාන පාරමිතාවක් නො පිරුයේද ප්‍රත්‍යේක බෝධියට හා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි ය. එබැවින් ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයෝ මධ්‍යම ප්‍රමාණයේ දාන පාරමිතාවක් පුරති. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයන් විසින් දාන පාරමිතාව පිරිය යුතු ආකාරය ද මහාබෝධි සත්ත්වයන්ගේ ප්‍රතිපත්තිය අනුව සලකා ගත යුතු ය.

දාන පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා විධිය

දීම හැම දෙනා විසින් ම නො කළ හැකි දුෂ්කර කාර්‍ය්‍යයක් බව ඉහත දක්වා ඇත. ඒ දුෂ්කර ක්‍රියාව සිදු කළ හැකි වීමට කාරණානුකූලව ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු ය. ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යනු කල්පනා කිරීම ය. සිතීම ය. එය කළ යුත්තේ මෙසේ ය.

ධනය බොහෝ දෙනා ඇලුම් කරන දෙයකි. එක් අයකු අයත් කරගෙන සිටින ධනය හැකි නම් ධන හිමියා මරා වුව ද ගනු කැමැත්ත ඇත්තෝ බොහෝ ය. අවකාශ ලද හොත් ඔවුහු ධනය පැහැර නො ගන්නාහු නො වෙති. එබැවින් ධනය තිබීම ධන හිමියාට අන්තරායෙකි. කෙනෙකුට ධනය තිබීම නො ඉවසන්නෝ බොහෝ ය. එබැවින් ධනය සතුරන් බෝවීමට හේතුවෙකි. ලෝකයේ ඇති වන කෝලාහල වලින් වැඩි කොටසක් ධනය නිසාම ඇති වෙයි. ධනය කෝලාහල ඇති වීමට ද වෛර ඇති කිරීමට ද හේතුවකි. ධනය ලැබීමට ද ආරක්ෂා කිරීමට ද බොහෝ දුක් ගත යුතුය. පර පීඩනාදී පව්කම් ද ඒ නිසා නොයෙක් විට කරන්නට සිදු වේ.

කෙසේ ආරක්ෂා කළත් ඒ ධනය රාජචෝරාදීන් විසින් පැහැර ගත හැකි ය. දිය - ගිනි - සුළං ආදියෙන් ද විනාශ විය හැකි ය. ධන විනාශයෙන් ද ශෝකාදී දුක් වේ. නො දී වියදම් නො කොට මසුරුකමින් රැස් කර ගෙන සිටින්නාවූ ධනය හිමියාට පලක් නැත. ඔහුට එයින් ඇත්තේ ආරක්ෂා කිරීමේ දුක පමණෙකි. මසුරු කමින් කිසිවකුට නො දී වියදම් නො කර ධනයට ඇලුම් කරමින් විසීම මරණින් මතු අපායෝත්පත්තියට ද හේතු වෙයි. දුක සේ රැස් කර ගත් ධනය වියදම් වීම ද ධන හිමියාට ශෝකයට කරුණෙකි. මෙසේ බලන කල්හි ධනය සෙවීම ය, ආරක්ෂා කිරීම ය, වියදම් වීම ය, විනාශවීම ය යන හැම කරුණකින් ම ධනහිමියාට ඇති වන්නේ දුක ය.

ධනය නිසා නෑයෝ නෑයන් මරති. සහෝදරයෝ සහෝදරයන් මරති. දරුවෝ මා පියන් මරති. අඹුවෝ සැමියන් මරති. සැමියෝ අඹුවන් මරති. මුල මැද අග යන තුන් තැන්හි ම දුක් ඇති කරන්නා වූ පව් ඇති කරන්නා වූ විශ්වාසය නො තැබිය හැක්කා වූ මහානර්ථකර වූ ධනයෙන් වන්නා වූ අන්තරායයන්ගෙන් මිදීමට ඇත්තා වූ එකම උපාය ඒ ධනය හැර දැමීමය. එයින් ගත හැක්කා වූ උසස්ම ප්‍රයෝජනය ද දන් දීම ය. දන් දීමෙන් ධනයෙන් ගත හැකි උසස් ප්‍රයෝජනය මා විසින් ගත යුතුය යි මෙනෙහි කළ යුතු ය.

මේ යාචකයෝ, හැරදමා පරලොව යන්නට සිදු වන ධනය ගෙන යාමට මා හට උපදෙස් දෙන ගුරුවරයෝ යයි ද, මරණ ගින්නෙන් දැවෙන මේ ලෝකයෙන් මාගේ ධනය බැහැර කර ගැනීමට උපකාර කාරයෝ යයි ද, බැහැර කරන්නා වූ මාගේ ධනය ආරක්ෂා කර තැබීමට ස්ථානයෝ යයි ද, දන් දීමෙහි යෙදීමෙන් මා හට ලොවුතුරා බුදුබව ලබා ගැනීමට ආධාර කරන කල්‍යාණ මිත්‍රයෝ යයි ද මෙනෙහි කළ යුතු ය.

ඒකාන්තයෙන් හැර යන්නට සිදුවන මේ ධනය ඉල්ලන්නට කලින් ම යාචකයනට දිය යුතුය. අමාරුවෙන් වුව ද ප්‍රතිග්‍රාහකයන් සොයා දිය යුතු වස්තුව ඉල්ලන්නට මා කරා යාචකයන් පැමිණීම මාගේ භාග්‍යයෙකි. යාචකයනට දීම් වශයෙන් මා කරන්නේ මා හට ම අනුග්‍රහයෙකි. යාචකයන් නැති වුවහොත් මා හට දාන පාරමිතාව පිරිය නොහෙන බැවින් මා විසින් ඔවුනට හැකි තාක් අනුග්‍රහ කළ යුතු ය. ඔවුනට දීම සඳහා මා විසින් වස්තුව සෙවිය යුතු යයි ද මෙනෙහි කළ යුතුය.

නො ඉල්ලා යාචකයෝ මගේ ධනය කවදා ගෙන යන්නාහු ද? කෙසේ මම යාචකයනට ප්‍රිය වෙම් ද? යාචකයෝ කෙසේ මා හට ප්‍රිය වන්නහු ද? කවදා මම දෙමින් සතුටු වන්නෙම් ද? කවදා මම දුන් දේ ගැන සතුටු වන්නෙම් ද? කෙසේ මා හට යාචකයෝ ඇති වෙත් ද? කෙසේ මා කෙරෙහි මහත් වූ දානාධ්‍යාශය ඇති වේ ද? බෝධිසත්ත්වයෙක් මි යි කියා ගන්නා මම යාචකයන් හා ධනය ද ඇති කල්හි නො දෙන්නේ නම් එය මාගේ මහා වඤ්චාවෙකැ යි ද මෙනෙහි කළ යුතුය.

අභ්‍යන්තර වස්තු දානය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේ ය: කෙසේ ආරක්ෂා කළත් යම්කිසි දිනයක දී ජීවිතය ඒකාන්තයෙන් නැසෙන්නේය, ශරීරය ද ඉන්පසු කුණුවී යාමෙන් හෝ සතුන්ට ආහාර වීමෙන් හෝ පොළොවට පස් වීමෙන් හෝ කෙළවර වන්නේ ය. ඊට කලින් ලේ - මස් ආදී ශරීරාවයවයන් හා ජීවිතය ද වුවමනා කෙනකුට දීම ම ඉන් ගත හැකි ප්‍රයෝජනය ගැනීම ය. එබැවින් ප්‍රතිග්‍රාහකයකු ලද හොත් මාගේ ලේ - මස් ආදිය ද ජීවිතය ද ඔහුට දිය යුතුය යි මෙනෙහි කළ යුතු ය.

ලේ මස් ආදිය හෝ ජීවිතය හෝ ඉල්ලන්නා කෙරෙහි කෝපය ඇති විය හැකිය. එසේ නොවනු පිණිස ඒවා ඉල්ලන අය ගැන මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය: යම්කිසි දවසක කුණු වී මිනිසුන්ට ලං විය නො හෙන තැනට පැමිණෙන්නා වූ මේ සිරුර ද, කෙසේ ආරක්ෂා කළත් පැවැත්විය නොහෙන ජීවිතය ද, උදාර අදහස් ඇති බෝසත්හු නිකම් ම විනාශ වී යන්නට කලින් ප්‍රතිග්‍රාහකයන් අමාරුවෙන් වුව ද සොය දන් දෙන්නාහ. ඒවා ගන්නා ප්‍රතිග්‍රාහකයෝ ද සුලභ නො වෙති. සෙවීමක් නො කොට මොහු මා වෙත පැමිණීම මාගේ වාසනාවෙක, මොහු මට බුදුබව ලබා දීමට පැමිණියෙක, මාගේ අදහස සිදු කිරීමට උපකාර වනු පිණිස පැමිණි මොහු ගේ අදහස ද මා විසින් සිදු කළ යුතු යයි ද මෙනෙහි කළ යුතු ය.

ලෝභය නූපදනාකාරයෙන් අප්‍රහීණ බැවින් සමහර විට බෝසතුන්ගේ සන්තානයෙහි ද එය නැඟී සිටිය හැකි ය. දාන වස්තූන් පිළිබඳ ලෝභය හෙවත් නො දෙනු කැමැත්ත ඇති වුව හොත් එය දුරු කර ගනු පිණිස මෙනෙහි කළ යුතු ආකාරය මෙසේය: සත්පුරුෂය, සම්බෝධිය පිණිස පින් රැස් කරන්නා වූ නුඹ මේ කය හා ජීවිතය ද, ඒ දෙක පරිත්‍යාගයෙන් ලැබෙන කුශලය ද, සියලු වස්තූන් ගේ යහපත පිණිස පරිත්‍යාග කෙළෙහි ය. එසේ කළ නුඹේ බාහිර වස්තු වලට ඇළුම් කිරීම වනාහි එළදෙන දී කඹයට ඇළුම් කිරීමක් වැන්න. එය නුඹට නුසුදුසු යයි මෙනෙහි කළ යුතු ය.

මිනිසුන් විසින් දලු කඩාගෙන යන, කොළ කඩා ගෙන යන, අතු කපා ගෙන යන, පොතු ගලවා ගෙන යන, මුල් උපුටා ගෙන යන මහත් වූ බෙහෙත් ගස ඒ ගැන කිසිවක් නො සිතන්නාක් මෙන් සකල ලෝකයාට ම යහපත සිදු කිරීමට බලාපොරොත්තු වන මා විසින් ද අනේක දුඃඛයන්ට උත්පත්තිස්ථාන වූ අපවිත්‍ර දෑ ගලන - උතුරන මේ සිරුර අනුන්ගේ යහපත පිණිස යෙදවීමෙහි දී කිසිදු නො මනා අදහසක් ඇති කර ගත යුතු නොවේ යයි ද සිතිය යුතු ය.

ඒකාන්තයෙන් බිඳෙන - දිරන - විසිරෙන ස්වභාවය ඇති ධාතු සමූහයක් වූ මේ සිරුරෙහි හා බාහිර වස්තූන්ගේ ද කිසි වෙනසක් නැත. මේ සිරුර මම ය කියා ද මාගේ ආත්මය කියා ද ගැනීම සම්මෝහයක් ම ය. එබැවින් බාහිර වස්තූන්හි මෙන් ම ලේ - මස් - අත් - පා - ඇස් - කන් ආදීන්හි ද ආලය හළ යුතුය. මාගේ බාහිර වස්තූන් මෙන්ම ලේ මස් ආදිය ද කැමති කෙනෙක් ගනිත්වා යි සිතිය යුතුය. මේ දාන පාරමිතාව පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය යි.

මෙසේ නැවත නැවත මෙනෙහි කරන්නා වූ සම්බෝධියට නැමුණා වූ - සම්බෝධියට බර වූ සිත් ඇත්තා වූ බෝසතුන් ගේ සිත කෙලෙසුන් කෙරෙන් දුරු වී පිරිසිදු වෙයි. ඔවුන්ට ධනය ය, ශරීරය ය, ජීවිතය ය යන මේවා කෙරෙහි අපේක්ෂාව තුනී වෙයි. ඒ හේතුවෙන් විශුද්ධ ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ බෝසතුන්ට වඩ වඩා වස්තු පරිත්‍යාගයෙන් ද, අභය දාන ධර්මදාන වශයෙන් ද, සත්ත්වයනට අනුග්‍රහ කිරීම් වශයෙන් ද දාන පාරමිතාව පිරීමෙහි සමර්ථ භාවය ඇති වේ.

දාන පාරමිතාවේ ප්‍රභේද

සාමාන්‍යයෙන් දාන පාරමිතාව එකක් වුව ද එය දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය යි ත්‍රිවිධ වේ.

"පුත්තදාරධනාදි උපකරණ පරිච්චාගො දාන පාරමී, අත්තනො අංග පරිච්චාගො දාන උපපාරමී. අත්තනො ජීවිත පරිච්චාගො දානපරමත්ථ පාරමී".

පුත්‍රදාර ධනාදි උපකරණ පරිත්‍යාගය දාන පාරමිතාව නම් වේ. ලේ - මස් - ඇස් - කන් - අත් - පා ආදී තමාගේ ශරීරාවයව පරිත්‍යාගය දාන උප පාරමී නම් වේ. දෙවෙනි දාන පාරමිතාව යනු එහි තේරුම යි. තමා ගේ ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමාර්ථ පාරමී නම් වේ. උසස් දාන පාරමිතාව ය යනු එහි තේරුම යි.

සාමාන්‍යයෙන් එකක් වූ දාන පාරමිතාව මෙසේ තුනට බෙදා කියනුයේ ත්‍රිවිධ බෝධීන්ගේ වශයෙනි. ලොවුතුරා බුදු බවට පෙරුම් පුරුන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය යන මේ තුනම පිරිය යුතු ය. ප්‍රත්‍යේක සම්බෝධියට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය යන දෙක පිරිය යුතුය. ශ්‍රාවක බෝධියට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව පිරිය යුතුය. දාන පාරමිතා තුන ම පිරිය හැකි තැනැත්තෝ ලොව්තුරා බුදු බවට පැමිණෙති. පළමුවන දෙවන පාරමිතා දෙක පමණක් පිරිය හැකි තැනැත්තෝ පසේ බුදු බවට පැමිණෙති. පළමුවන දාන පාරමිතාව පමණක් පිරිය හැකි තැනැත්තෝ ශ්‍රාවක බෝධියට පැමිණෙති. ශීල පාරමිතාදී ඉතිරි පාරමිතා නවයෙහි මේ ප්‍රභේදය කියන ලද පරිද්දෙන් සැලකිය යුතු ය.

මහබෝසතාණන් වහන්සේ ගේ දාන පාරමිතාව පිළිබඳව විසය්හ ජාතකය, අකිත්ති ජාතකය, සංඛ ජාතකය, නිමි ජාතකය, වෙස්සන්තර ජාතකය, කුරු රාජ චරියාව, මහාසුදස්සනරාජ චරියාව, මහා ගෝවින්ද චරියාව, චන්දරාජ චරියාව යන ආදිය කිය යුතු ය.

දාන උප පාරමිතාව පිළිබඳව සිවි ජාතකය, චුල්ලපදුම ජාතකය, ඡද්දන්ත ජාතකය, සීලවනාගරාජ ජාතකය කිව යුතුය.

දාන පරමාර්ථ පාරමිතාව පිළිබඳව සස ජාතකය, නිග්‍රෝධමිග ජාතකය, ඛදිරංගාර ජාතකය, මහාකපි ජාතකය, ජයද්දිස ජාතකය යනාදිය කිය යුතු ය.

තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම කුශල් සිතක් වේ. යම්කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයෙකුට දීමෙහි දී ඇතිවන කුශල සිතට සමාන සිතක් දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නැති ව ඉපදවීම ඉතා දුෂ්කර ය.

අතීතයේ අප මහ බෝසතාණන් වහන්සේ ත්‍රිලෝක විජය නම් වූ චක්‍රවර්ති රජ ව මනෝමය මහා දානයක් දුන් බව බුද්ධාපදාන පාළියෙහි දැක් වේ. මනෝමය දානය යනු දාන වස්තූන් හා ප්‍රතිග්‍රාහකයන් නැතිව, දාන වස්තු හා ප්‍රතිග්‍රාහකයන් සිතින් ම මවා ගෙන සිතින් ම දෙන්නා වූ දානයෙකි. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමා දුන් මනෝමය දානය කවර ආකාරයකින් වත් සත්‍ය වශයෙන් සිදු කළ නො හෙන අති විශාල දානයෙකි. ඒ මෙසේ යැ:

එතුමා විවේකස්ථානයක හිඳ දසදහසක් සක්වළ සෑම තැන ම දියෙහි ද, ගොඩ ද, අහසේ ද ඇත්තා වූ රන් - රිදී - මුතු - මැණික් ආදී රත්න සියල්ල තමාගේ භවනය සමීපයට සිතින් රැස් කළේ ය. එය සත්‍ය වශයෙන් රැස් කිරීමක් නො වේ. රැස් කරන සේ ද - රැස් වූ සේ ද සිතින් සිතා ගැනීමකි. ඉක්බිති එතුමා සිතින් ම රිදියෙන් බිමක් කොට ඒ රත්නයන්ගෙන් මහල් බොහෝ ගණනක් ඇති දහස් ගනන් කාමර ඇති, දහස් ගණන් ශාලා ඇති, දහස් ගණන් දොර ඇති, දහස් ගණන් කණු ඇති මාලාකර්ම ලතාකර්මයෙන් සුසැදි අති විශාල ප්‍රාසාදයක් සිතින් ම තැනූයේ ය. ඉර - සඳ - තරු ආදියෙන් අලංකාර කරන ලද වියනින් ද, රහුදැල් - මල් දම් - කොඩි - තොරන් - පුන් කලස් ආදියෙන් ද එය දෙව් විමනක් සේ සරසන ලද්දේය. එහි නොයෙක් පැහැති බුමුතුරුණු අතුරා සත් රුවනින් ම කල ලක්ෂ ගනන් හිඳින නිදන අසුන් පිහිට වී ය. ඒවායේ අගනා ඇතිරිලි අතුරන ලදහ. කොට්ට - මෙට්ට තබන ලදහ. පහන් පිහිටුවන ලදහ. වාසස්ථානයකට තිබිය යුතු සියල්ල ම එහි තබන ලද හ.

ඉක්බිති රජතුමා අතීත වූ ද, වර්තමාන වූ ද සියලු බුදුවරයන් වහන්සේලා ද, පසේ බුදුවරයන් වහන්සේලා ද, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ද ඒ ප්‍රාසාදයට සිතින් වැඩම කරවන ලදහ. දෙව්ලොව හා මිනිස්ලොව කප් රුක් වලින් නා නා වස්ත්‍රයන් ගෙන ඒ සැම දෙනා වහන්සේට සිතින් ම තුන් සිවුරු පිදී ය. ප්‍රණීතවත් ආහාර පානයන් පිළියෙල කොට මාණික්‍යමය පාත්‍රවලට බෙදා ඒ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට සිතින් ම පිරිනැමී ය. තෙල් ගිතෙල් මී සකුරු ආදී බෙහෙත් වර්ග ද ඒ ආර්‍ය්‍යයන් යන් වහන්සේලාට පිරිනැමීය.

එතුමා තමාගේ ප්‍රාසාදයෙහි ස්වර්ණමය අසුන්වල බුදු පසේබුදු - මහරහතන් වහන්සේලාගෙන් සමහර කෙනකු සැතපී සිටින සැටි ද, සමහර කෙනකු සමාපත්තිවලට සම වැදී සිටින සැටි ද, සමහර කෙනකු දහම් දෙසන සැටි ද, බුදුවරු බුදුවරුන්ගෙන් පැන විචාරන සැටි ද, බුදුවරු ඒවා විසඳන සැටි ද, ශ්‍රාවකයන් බුදුවරයන්ගෙන් පැන විචාරන සැටි ද, බුදුවරු ශ්‍රාවකයන්ගෙන් පැන විචාරන සැටි ද, ඒවා විසඳන සැටි ද, රහතන් වහන්සේලා ඔවුනොවුන් පැන විචාරන විසඳන සැටි ද සිතමින් ප්‍රීති විය.

ප්‍රාසාදය අවට උයන් පොකුණුවල මල් පිපී තිබෙන සැටි ද, තමා මල් නෙලා ප්‍රාසදයට ගෙන ගොස් පුදන සැටි ද, නා නා වර්ණ පක්ෂීන් ප්‍රාසාදය අවට මල් රුක් වල ගයමින් - නටමින් ඒ පෙදෙස අලංකාර කරන සැටි ද, ප්‍රාසාදය අවට පූජා පිණිස නොයෙක් තූර්ය්‍යයන් වාදනය කරන සැටි ද, ගී නැටුම් පවත්වන සැටි ද, දෙව් මිනිසුන් එහි රැස් වන සැටි ද, ගස් මුදුන් කඳු මුදුන් වල නන් පැහැති කොඩි ලෙළදෙන සැටි ද, සිතින් බලමින් එතුමා ප්‍රීති වි ය. එතුමා තමාගේ මනෝමය දානයෙන් ලෝකයා හට මෙසේ අනුමෝදන් කරවන ලද්දේ ය.

"යං කිඤ්චිකුසලං කම්මං කත්තබ්බං කිරියං මම

කායෙන වාචා මනසා තිදෙස සුකතං මයා

යෙ සත්තා සඤ්ඤිනො අත්ථි යෙ ච සත්තා අසඤ්ඤිනො

කතං පුඤ්ඤඵලං මය්හං සබ්බෙ භාගී භවන්තු තෙ.

යෙසං කතං සුවිදිතං දින්නං පුඤ්ඤඵලං මයා,

යෙච තස්මිං න ජානන්ති දෙවා ගන්ත්වා නිවෙදයුං

සබ්බලොකම්හි යෙ සත්තා ජීවන්තාහාර හෙතුකා

මනුඤ්ඤං භොජනං සබ්බං ලභන්තු මම චෙතසා"

කය වචන සිත යන තුන් දොරින් සිදු කළ යුතු වූ කුශලකර්ම සංඛ්‍යාත යම්කිසි ක්‍රියාවක් දෙව්ලොව ඉපදීමට හේතු වන පරිදි මා විසින් මනා කොට කරන ලද ද ඒ කුශලයා ගේ ඵලය,

සිත් ඇත්තා වූ ද සිත් නැත්තා වූ ද සියලු ම සත්ත්වයෝ ලබත්වා. මා විසින් මේ පින් ඵලය දුන් බව නො දන්නා වූ සත්ත්වයනට දෙවියෝ ගොස් ඒ බව දන්වත්වා. ලෝකයේ යම් සත්ත්ව කෙනෙක් ආහාරයෙන් ජීවත් වෙද්ද, ඒ සියල්ලෝ ම මාගේ කුශල චිත්ත බලයෙන් සියලු යහපත් බොජුන් ලබත්වා යනු ඒ ගථාවල අදහස යි.

මෙසේ දෙන ලද මනෝමය දානයෙන් ලැබූ බොහෝ ඵල ද අපදාන පාළියෙ දක්වා තිබේ. දික් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. නැති දේ තමාගේ සිතට ඇති වස්තූන් සේ පෙනෙන සැටියට සිතිය හැක්කේ සමධිය පුරුදු කළ යෝගාවචරයනටය. ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජතුමාට තමාගේ සිතට පෙනෙන සැටියට ප්‍රතිග්‍රාහකයන් හා දාන වස්තූන් සිතින් නිර්මිතකර ගත හැකි වූයේ ඔහු යෝගාවචරයකු වූ බැවිනැයි සිතිය හැකි ය.

මේ කථාව මෙහි දක්වන ලද්දේ සිතින් ම ද දානමය කුශලය සිදුකර ගැනීමට ඉඩ ඇති බව දැන ගනු පිණිසය. තමා අයත් වස්තූන් කෙරෙහි ලෝභය දුරු කොට ඒවා දිමට ශක්තිය නැති තැනැත්තන් විසින් වස්තුව වියදම් නො කොට සිතින් ම දන් දෙමි යි කියා සිතූයේ ද ඒවායේ බලයක් නැත. ඒවා ඇත්තා වූ වස්තුව දීමේ දී ඇති වන සිතුම්වලට සමාන නො වන බැවිනි. මනෝමය කුශලය මතු විපාක ගෙන දීමට තරම් ශක්තියක් ඇතිවීමට නම් ඇත්තා වූ වස්තුව දීමේ දී පහළ වන කුසල චිත්තයට සමාන සිත් සිතිය යුතු ය. තමා අයත් වස්තුව දීමට ශක්තියක් නැති කමින් ඒවායේ ලෝභය දුරු කිරීමට ශක්තියක් නැති කමින් සිතින් දන් දෙන තැනැත්තකුට මනෝමය දානය දීම් වශයෙන් තමා අයත් වස්තු පරිත්‍යාග කිරීමේ දී ඇති වන සිත්වලට සමාන සිත් ඇති නො වේ.

මෙය බොහෝ දෙනාට මුළා විය හැකි කරුණෙකි. සිතින් ම දන් දුන්නාම ඇත කියා තමා අයත් වස්තුව නො දී සිතින් ම දෙන්නට සැරසීම නො මඟ යාමෙකි. තමා ගේ වස්තුවට ඇති ලෝභය දුරු කළ නො හැකියන්ට සිතින් දන්දීම පුරුදු කිරීමෙන් කියයුතු එක්තරා ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් දන්දීමේ ශක්තිය ලැබීමය. සිතින් දන් දී දන් දීමට සිත පුරුදු කරන කල්හි දීමට ඇති භීතිය ක්‍රමයෙන් පහවී තමා අයත් වස්තුව දීමේ ශක්තිය ක්‍රමයෙන් ලැබෙන්නේ ය. එසේ කරන තැනැත්තාගේ සිත ක්‍රමයෙන් දීමට නැවෙන්නේ ය. ඒ හේතුවෙන් කල් යාමෙන් ඒ තැනැත්තාට දන් දිය හැකි කෙනකු විය හැකි ය.

"යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා

පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා"

යනුවෙන් වර්තමාන බෞද්ධයන් කරන වන්දනාව ද නැත්තා වූ බුදුවරයන් සිතින් අරමුණු කොට කරන්නක් බැවින් මනෝමය වන්දනාවෙකි. නැත්තා වූ බුදුවරයන් සිතින් සලකා ගෙන, මල් පහන් - සුවඳ - ආහාර යනාදිය ඒ බුදුවරයන්ට පිදීම ද අර්ධ වශයෙන් මනෝමය දානයකි. එය අර්ධ මනෝමය දානයක් වනුයේ දන් දීමකට තිබිය යුතු දාන වස්තුවය - ප්‍රතිග්‍රාහකයෝ ය යන අංග දෙකින් දාන වස්තුව වූ එක් අංගයක් ඇති ව ප්‍රතිග්‍රාහකාංගය නැති ව කරන පූජාවක් වන හෙයිනි.

ත්‍රිලෝක විජය රජතුමාගේ දානයට අතීත වර්තමාන බුදුවරයන් වහන්සේලා පමණක් ගන්නා ලදහ. අනාගතබුදුවරයෝ නො ගන්නා ලදහ. ඒ බව -

"යේ ච එතරහි අත්ථි බුද්ධා ලොකෙ අනුත්තරා

අතීතා වත්තමානා ච භවනං සබ්බෙ මා හරිං"

යන අපදාන ගාථාවෙන් දැක් වේ. මෙකල කරන වන්දනාවට කාලාත්‍රයෙහි ම බුදුවරයන් ගෙන තිබේ. ඒ වෙනසද සැලකිය යුතු කරුණකි.

පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ ශ්‍රාවක පාරමිතා මහා දානය

ශ්‍රාවක බෝධිසත්ත්වයන් ගේ දාන පාරමිතාව ගැන දැන ගැනීම සඳහා ද, ඒ ඒ දානයන් ගේ අනුසස් වෙන වෙන ම දැන ගනු පිණිස ද, පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ ශ්‍රාවක පාරමිතා මහ දානය දක්වනු ලැබේ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් වූ බුදුන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ බුදුන් වහන්සේ ගේ පියාණන් වූ ආනන්ද රජ්ජුරුවෝ අනෙකකුට අවකාශ නො දෙමින් ශ්‍රාවක සංඝයා සහිත වූ බුදුන් වහන්සේට තමන් ම සිව්පසයෙන් උපස්ථාන කලහ. එකල්හි පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ හසංවතී නගරයෙහි බොහෝ ධන සම්පත් ඇති කුලයක ඉපද ආනන්ද රජතුමාගේ ගේ මිත්‍රයෙක් ව ද උන්හ. දිනක් එතුමා තමාගේ ප්‍රාසාදයෙහි හිඳ සිතනුයේ මට බොහෝ ධනය ඇත්තේ ය. මගේ ගෙය ධනයෙන් පිරුණ තැනක. බුදුන් වහන්සේ ද ලොව පහළවූ සේක. මා විසින් උන් වහන්සේට දන් දිය යුතුය.

පදුම නම් වූ රාජකුමාරයා විසින් ද බුදුපාමොක් මහ සඟනට ඇතුන් හා ඇඳ පුටු ආදී බොහෝ භාණ්ඩ ද පුදන ලද්දේ ය. මට ද බොහෝ වස්තුව දිය හැකිය ය. මම මීට පෙර කිසිවකු නුදුන් පරිදි මහා දානයක් දෙමි ය. මම ඒ සර්වපරිෂ්කාර මහා දානය දීමේ ආදි කර්මිකයා (පළමුවෙන් දෙන තැනැත්තා) වෙමි යි සිතුවේ ය. එසේ සිතා එතුමා බුදුන් ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාට පුදනු පිණිස කුඩ ලක්ෂයක් කම්කරුවන් ලවා කරවී ය. පාත්‍ර සිවුරු ආදී භික්ෂූන් වහන්සේලාට කැප වූ භික්ෂූන් වහන්සේලා පරිභෝග කරන්නා වූ, යම් පමණ වස්තු වේ නම් ඒ සියල්ලෙන් ම ලක්ෂය බැගින් රැස් කළේ ය.

පූජා භාණ්ඩ සියල්ල රැස් කොට එතුමා ආනන්ද රජු කරා ගොස් වැඳ කියනුයේ "අප දෙදෙන එක කල ඉපිද එකට ම වැඩුණෝ වෙමු. අපි දෙදෙන සමාන සුව දුක් ඇත්තෝ ද සමාන සිත් ඇත්තෝ ද වෙමු. අපි දෙදෙන කෙනකුට කෙනකු අනුකූලව හැසිරෙන්නෝ වෙමු. මහරජාණෙනි, මට මහත් චෛතසික දුඃඛයක් ඇත්තේ ය. හැකි නම් මාගේ දුක දුරු කරනු මැනවි. මා හට පිහිට වන මැනව" යි කී ය. එකල්හි ආනන්ද රජ්ජුරුවෝ කියන්නාහු "අප දෙදෙනා සම සිත් ඇත්තෝ ය. ඔබ ගේ දුක මාගේ ද දුකෙකි. ඉදින් ඔබ දුක මා විසින් දුරු කළ හැකි දෙයක් නම් දුරු කරන බව දැන ගනුව" යි කීහ.

එකල්හි රාජමිත්‍රයා කියනුයේ "දේවයන් වහන්ස, මගේ දුක ලෙහෙසියෙන් දුරු කළ හැකියක් නො වේ. ඔබ එය කිරීමට සමර්ථ නම් මිස නිකම් ගර්ජනා නො කරනු මැනව"යි කීය. එකල්හි රජහු "මාගේ රට වුව ද මාගේ ජිවිතය වුව ද ඔබගේ දුක දුරු කර ගැනීමට උවමනා නම් කම්පාවක් නැතිව දෙමි'යි කි හ. රාජමිත්‍රයා කියනු යේ "දේවයන් වහන්ස, ඔබ වහන්සේ බොහෝ කොට ගර්ජනා කළාහු ය, ඔබගේ ගර්ජනාව හිස් එකක් විය හැකිය. ඔබ ගේ සත්‍යයෙහි ධර්මයෙහි පිහිටීමේ ප්‍රමාණය දැන ගන්නෙමිය" යි කී හ. රජහු කියන්නාහු "ඇත්තා වූ කවරෙක් වුවත් දෙන මා ඔබ තදින් පෙළන්නෙහිය. මා පෙළීමෙන් ඔබට කවර ඵලයක් ද? ඔබට මගෙන් වුවමනා දෙයක් ඇති නම් එය වහා කියව" යි කී හ. "මහරජාණෙනි, මගේ දුක නම් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට සත්කාරයක් කරන්නට නො ලැබීමය. ඒ වරය දීමෙන් මාගේ දුක දුරු කරනු මැනව" යි රාජමිත්‍රයා කීය.

එකල්හි රජහු "තථාගතයන් වහන්සේ කාහටවත් නො දිය යුතු වූ වස්තුවෙක. තථාගතයන් වහන්සේ නො ඉල්ලනු මැනව. අනෙක් කැමති වරයක් දෙමි" යි කීහ. "මහරජ ඔබ පළමු ජිවිතය තෙක් සියල්ල දෙමි" යි ගර්ජනා කළාහු ය. ජීවිතය පවා දෙන්නට කථා කළ ඔබ වහන්සේ විසින් "තථාගතයන් වහන්සේ දිය යුතුය"යි රාජමිත්‍රයා කීය."තථාගතයන් වහන්සේ කිසිවකුට නො දිය යුතු ය. මා විසින් තථාගතයන් වහන්සේ දෙන බවක් නො කියන ලද්දේ ය. ඔබ කැමති ධනයක් ගනුව"යි රජුහු කීහ.

එකල්හි රාජමිත්‍රයා කියනුයේ "ඔබගේ ප්‍රතිඥාවේ හැටියට තථාගතයන් වහන්සේ දිය යුතු ම ය. මේ කාරණය ගැන විනිශ්චයකාරයන් ගෙන් අසමුය"යි කියා රජුද කැඳවා ගෙන විනිශ්චය ශාලාවට ගොස් විනිශ්චයකාරයන්ට නඩු කීහ. විනිශ්චයකාරයෝ නඩුවෙන් රජ්ජුරුවන් පැරදවූහ. එකල්හි රජහු මිත්‍රයා විසින් තමාගේ දානය දුන් පසු නැවත තථාගතයන් වහන්සේ දෙන ලෙස විනිශ්චයකාරයන්ට කීහ. විනිශ්චයකාරයෝ කැමති සේ දන් දී ඔබ අදහස සම්පූර්ණ කර ගෙන නැවත බුදුන් වහන්සේ රජ්ජුරුවන්ට ම දෙන ලෙස රාජමිත්‍රයාට නියම කළෝ ය. රාජමිත්‍රයා විනිශ්චයකාරයන්ට හා රජුට ද වැඳ අවසර ගෙන පදුමුත්තර බුදුන්වහන්සේ වෙත මහත් ප්‍රීතියෙන් එළඹ, ලක්ෂයක් රහතන් වහන්සේලා ද සමඟ තමාගේ නිවසට වැඩම කරන ලෙස ආරාධනය කළේ ය. පදුමුත්තර බුදුන්වහන්සේ ද ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ ආරාධනය ඉවසා වදාළ සේක.

බුදුන් වහන්සේ ඉවසා වදාළ බව තේරුම් ගත් ඒ පුරුෂ තෙමේ, ප්‍රීතියෙන් සිත පින පිනා සිය නිවසට ගොස් ඥාතිමිත්‍රාදි බොහෝ ජනයා රැස් කරවා ගෙන විශාල මණ්ඩපයක් කරවා සපු - නා - වැටකේ - හෙලපියුම් - රත්පියුම් ආදී නානා පුෂ්පයෙන් එය සරසවා එහි ම ලක්ෂයක් කුඩ නංවා, ඒ කුඩ යට නා නා පුෂ්පයෙන් සැරසූ අසුන් ලක්ෂයක් පනවා පූජාව පිළියෙල කෙළේ ය. ඒ අසුන්වලින් ඉතා පහත් අසුන සියයක් අගනේ ය. එසේ පූජාව පිළියෙල කොට පුදුමුත්තර බුදුන් වහන්සේට කාලය සැල කළ කල්හි උන් වහන්සේ ලක්ෂයක් ශ්‍රාවකයන් වහන්සේ ද සමඟ එහි වැඩමවා වදාළ සේක.

දායක මහතා තථාගතයන් වහන්සේ වැඳ "ස්වාමීනි, මා විසින් පිළියෙළ කරන ලද්දා වූ නිරවද්‍ය වූ කැප වූ මේ කුඩ ලක්ෂය හා අසුන් ලක්ෂය ද මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා"යි ආයාචනය කෙළේය. බුදුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ද සමඟ ඒ අසුන් හි වැඩහුන් සේක. දායක මහතා සැම දෙනා වහන්සේට ලෝහ පාත්‍රය බැගින් පිළිගන්වා සර්ව පරිෂ්කාර සහිත මහා දානය දුන්නේ ය. පදුමුත්තර බුදුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස සතියක් ම ඒ මල් මඩුවෙහි වැඩ හුන් සේක. එහිදී පදුමුත්තර බුදුන් වහන්සේ රැස් වූ බොහෝ ජනයාට දහම් දෙසූ සේක. එයින් සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය.

සත්වන දිනයේ දී පදුමුත්තර බුදුන් වහන්සේ වදාරන සේක් "මා ඇතුළු සඟනට සර්වපරිෂ්කාර දානය දුන් මේ පුරුෂයා සසර බොහෝ සැප සම්පත් ලබා කල්ප ලක්ෂයකින් මතු ලොව පහළ වන්නා වූ ගෞතම නම් වූ තථාගතයන් වහන්සේගේ සස්නෙහි පිලින්දවච්ඡ නමින් ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට ප්‍රියමනාප පුද්ගලයන් අතුරෙන් අග්‍රස්ථානය ලබන්නේය"යි වදාළ සේක.

පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ පසු කාලයේ දී තමන් ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාහු. ඒ ඒ දානයෙන් ලැබූ ඵලානිසංසයන් වෙන වෙනම ප්‍රකාශ කළාහ. උන්වහන්සේ ලැබූ දානානිසංසයන් දැක්වෙන අපදාන ගාථා හා ඒවායේ තේරුම් ද මෙතැන් පටන් දක්වනු ලැබේ.

ඡත්‍ර දානයේ අනුසස් අට

"ඡත්තේ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සීතං උණ්හං න ජානාමි රජො ජල්ලං න ලිම්පති

අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා.

-

සුඛුමච්ඡවිකො හොමි විසදං හොති මානසං

ඡත්තසතසහස්සානි භවෙ සංසරතො මම.

-

සබ්බාලංකාර යුත්තානි තස්ස කම්මස්ස වාහසා

ඉමං ජාතිං ඨපෙත්වාන මත්ථකෙ ධාරයන්ති මෙ."

බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා හට ද කුඩ පුදා මාගේ කර්මයට සුදුසු වූ ආනිසංස අටක් අනුභව කරමි. ශීතෝෂ්ණ දෙකින් පීඩා නො ලබමි. මාගේ ශරීරයේ කුණු නො ඇලෙයි. උපද්‍රව නැත්තේ වෙමි. අන්තරාය නැත්තේ වෙමි. හැම කල්හි අන්‍යයන් විසින් ගරු කරන ලද්දේ වෙමි. සියුම් සම ඇත්තේ වෙමි. මාගේ සිත පිරිසිදු වෙයි. කුඩ පූජා කිරීම වූ ඒ කර්මයේ බලයෙන් සසර සැරිසරන්නා වූ මාගේ හිස මත මේ ජාතියෙන් අන්‍ය ජාතීන්හි සර්වාලංකාරයෙන් යුක්ත වූ කුඩ ලක්ෂයක් දැරූහ.

රහත් වූ ජාතියේ උන්වහන්සේ ගේ හිස මත ඡත්‍රධාරණයක් නැති වූයේ අර්හත් ඵල සංඛ්‍යාත ඡත්‍රය දරන හෙයිනැයි කියා තිබේ.

වස්ත්‍ර දානයේ අනුසස් අට

"දුස්සානි සුගතෙ දත්වා සංඝෙ ගණ වරුත්තමෙ

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සුවණ්ණ් වණ්ණො විරජො සප්පභාසො පතාපවා

සිනිද්ධං හොති මෙ ගත්තං භවෙ සංසරතො මම.

-

දුස්සසතසහස්සානි සෙතා පීතා ච ලොහිතා

ධාරෙන්ති මත්ථකෙ මය්හං දුස්සදානස්සිදං ඵලං"

බුදුන් වහන්සේට ද ගණෝත්තම වූ සංඝයා හට ද වස්ත්‍ර පුදා, මාගේ කර්මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි. රන්වන් සිරුර ඇත්තේ වෙමි. ශරීරයේ රජස් නැත්තේ වෙමි. රැස් විහිදෙන ශරීර ඇත්තේ වෙමි. ප්‍රතාප ඇත්තේ වෙමි. මාගේ සිරුර සිනිඳු වෙයි. භවයෙහි හැසිරෙන මාගේ හිස මත සුදු පැහැය ඇත්තා වූ ද, කහ පැහැය ඇත්තා වූ ද, රතු පැහැය ඇත්තා වූ ද ලක්ෂ ගණන් වස්ත්‍ර දරති. මෙය වස්ත්‍ර දානයේ ඵලය ය.

පාත්‍ර දානයේ අනුසස් දසය

"පත්තෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සුවණ්ණථාලෙ මණිථාලෙ රජතෙ පි ච ථාලකෙ

ලොහිතංකමයෙ ථාලෙ පරිභූඤ්ජාමි සබ්බදා.

-

අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා

ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.

-

න විනස්සන්ති මෙ භොගා ථිරචිත්තො භවාමහං

ධම්මාකාමො සදා හොමි අප්පක්ලේසො අනාසවො.

-

දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණා

ඡායා යථාපි රුක්ඛස්ස සබ්බත්ථ න ජහන්ති මං."

බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා වහන්සේට ද පාත්‍ර පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් දසයක් වළඳමි. රන් තලි ද මැණික් තලි ද රිදී තලි ද රන් මැණික් තලි ද හැම කල්හි පරිභෝග කරමි. උපද්‍රව නැත්තේ ද අනතුරු නැත්තේ ද වෙමි. හැම කල්හි ගරු කරන ලද්දේ වෙමි. ආහාර පාන වස්ත්‍ර සයනාසන ලබන්නේ වෙමි. මාගේ භෝගයෝ නො නසිති. මම ස්ථිර සිත් ඇත්තේ වෙමි. හැම කල්හි ම ධර්මය කැමති වෙමි. මඳ කෙලෙස් ඇත්තේ වෙමි. ආශ්‍රව රහිත වෙමි. මේ ගුණයෝ දිව්‍යලෝකයේ ද මනුෂ්‍ය ලෝකයේ ද යන හැම තන්හි ඡායාව වෘක්ෂය නො හරන්නක් මෙන් මා නො හරිත්.

දැළිපිහියා පිදීමේ අනුසස් අට

"චිත්තබන්ධන සම්බද්ධා සුකතා වාසියො බහූ

දත්වාන බුද්ධ සෙට්ඨස්ස සංඝස්ස ච තථෙවහං

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සූරො හොමි විසාරී ච වෙසාරජ්ජේසු පාරමී

ධිතී විරියවා හොමි පග්ගහිත මනො සදා.

-

කිලෙසච්ඡෙදනං ඤාණං සුඛුමං අතුලං සුචිං

සබ්බත්ථ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං."

විචිත්‍ර බන්ධනයෙන් බඳනා ලද (විසිතුරු මිටි ඇති) මනා කොට කරන ලද්දා වූ බොහෝ කරකැති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට හා මහා සංඝයා වහන්සේට ද පුදා මාගේ කර්මයට අනුරූප වූ ආනිසංස අටක් වළඳමි. මම හැම කල්හි සූර ද වෙමි. නො විසිරි සිත් ඇත්තේ ද වෙමි. වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණියෙමි. ධෛර්‍ය්‍ය ඇත්තේ වෙමි. වීර්‍ය්‍ය ඇත්තේ වෙමි. ඔසවා ගන්නා ලද සිත් ඇත්තේ වෙමි. කෙලෙස් සිඳින්නා වූ සියුම් වූ අසම වූ ශුද්ධ වූ ඥානය හැම කල්හි ඒ කර්ම බලයෙන් ලබමි. (මෙහි පෙනෙන්නේ කරුණු සතෙකි. එබැවින් අට්ඨානිසංසෙ අනුභොමි යන්න සත්තානිසංසෙ අනුභොමි යි කියා විය යුතු ය යි සිතමි.)

පිහියා පිදීමේ අනුසස් පස

"අකක්කසෙ අඵරුසෙ සුධොතෙ සත්ථකෙ බහූ

පසන්නචිත්තො දත්වාන බුද්ධෙ සංඝෙ තථෙව ච,

-

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

කල්‍යාණචිත්තං විරියං ඛන්තිං ච මෙත්තසත්ථකං

-

තණ්හා සල්ලස්ස ඡින්නත්තා පඤ්ඤාසත්ථං අනුත්තරං

වජිරෙන සමං ඤාණං තෙසං නිස්සන්දතො ලභෙ"

අකර්කශ වූ අඵරුශ වූ මොනවට පණ පොවන ලද්දා වූ බොහෝ පිහියා බුදුනට ද සංඝයාට ද පහන් සිතින් දී මාගේ කර්මයට අනුරූප වූ අනුසස් පසක් ලබමි. යහපත් සිත් ද, වීර්‍ය්‍යය ද, ක්ෂාන්තිය ද, මෛත්‍රිය නැමැති සැත ද, තෘෂ්ණා සංඛ්‍යාත සුල ද සුන් කළ බැවින් අනුත්තර වූ ප්‍රඥා ශස්ත්‍රය වූ වජ්‍රායුධය හා සමාන වූ ඥානය ඒවායේ අනුසස් වශයෙන් ලබමි.

ඉඳි කටු දීමේ අනුසස් සත

"සූචියො සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

න සංසයො කංඛච්ඡෙදො අභිරූපො ච භොගවා

තික්ඛපඤ්ඤො සදා හොමි සංසරන්තො භවාභවෙ

-

ගම්හීරං නිපුණං ඨානං අත්ථං ඤාණෙන පස්සයිං

වජිරග්ග සමං ඤණං හොති මෙ තමඝාතනං"

බුදුන්වහන්සේට හා උත්තම සංඝයා වහන්සේට ඉදිකටු පුදා මාගේ කර්මයට අනුරූප ආනිසංස පසක් ලබමි. සැක නැත්තේ වෙමි. සැක සිඳින්නේ වෙමි. රූ ඇත්තේ වෙමි. භෝග ඇත්තේ වෙමි.

භවයෙහි හැසිරෙන්නා වූ මම හැම කල්හි ම තියුණු නුවණ ඇත්තේ වෙමි. ගම්භීර වූ ද සියුම් වූ ද ස්ථාන වූ ද අර්ථයන් ඥානයෙන් දිටිමි. මොහඳුර දුරු කරන්නා වූ වඡ්‍රායුධාග්‍රහයට සම වූ ඥානය මා හට ඇත්තේ ය.

නිය කපන අවි පිදීමේ අනුසස් පස

"නඛච්ඡෙදනෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

පඤ්චානිසංසේ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම,

-

දාසි දාසෙ ගවස්සෙ ච භතකෙ ආරක්ඛකෙ බහූ

නහාපිතෙ භත්තකෙ සූදෙ සබ්බත්ථෙව ලභාමහං"

බුදුනට ද මහා සංඝයා හට ද නිය කපන ආයුධ පුදා මාගේ කර්මයට අනුකූල වූ අනුසස් පසක් ලබමි. බොහෝ වූ දාසි දාසයන් ද, ගවයන් හා අශ්වයෝ ද, ආරක්ෂක මෙහෙකරුවන් ද, කරනැවෑමියන් ද (කෙස් රැවුල් කපන්නන්) බත් පිසින්නන් ද හැම තන්හි ම ලබමි.

පවන් අතු පිදීමේ අනුසස් අට

"විධූපනෙ සුගතෙ දත්වා තාලවණ්ටෙ ච සොභනෙ,

අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සීතං උණ්හං න ජානාමි පරිළාහො න විජ්ජති,

දරථං නාභිජානාමි චිත්තසන්තාපනං මම.

-

රාගග්ගි දොසමොහග්ගි මානග්ගි දිට්ඨි අග්ගිච,

සබ්බග්ගි නිබ්බුතා මය්හං තස්ස නිස්සන්දතො මම

-

මොරහත්ථෙ චාමරියො දත්වා සංඝෙ ගණුත්තමෙ උපසන්තකිලෙසොහං විරහාමි අනංගණො"

තථාගතයන් වහන්සේට ශෝභන වූ පවන් අතු ද තල්වැට ද පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් අටක් ලබමි. ශීතයෙන් හා උෂ්ණයෙන් පීඩා නො ලබමි. ශරීර දාහයක් ද නැත. මාගේ සිත තවන්නා වූ දාහයක් ද නැත. රාගග්නිය ය, ද්වේෂාග්නිය ය, මෝහාග්නිය ය, මානාග්නිය ය, දෘෂ්ට්‍යාග්නිය ය යන සකලාග්නීහු මගේ ඒ කුශලයාගේ නිස්සන්දයෙන් මාහට නිවුණාහු ය. මොනර පිල් හා චාමර ද සංඝයා හට දී, සන්සුන් කෙලෙස් ඇත්තේ කෙලෙස් වලින් මිදී වාසය කරමි.

පෙරහන්කඩ දීමේ අනුසස් පහ

"පරිස්සාවනෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

පඤ්චනිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සබ්බෙසං සමතික්කම්ම දිබ්බං ආයුං ලභාමහං,

අප්පසය්හො සදා හොමි චොරපච්චත්ථිකෙහි වා

-

සත්ථෙන වා විසෙන වා විහෙසම්පි න කුබ්බතෙ

අන්තරා මරණං නත්ථි තෙසං නිස්සන්දතො මම.”

බුදුන් වහන්සේට ද ගණෝත්තම වූ මහා සංඝයා වහන්සේට ද, පෙරහන්කඩ දී මාගේ කර්මයනට අනුරූප වූ අනුසස් පසක් ලබමි. මම හැම දෙනාම ඉක්මවා දිව්‍යායුෂය ලබමි. සොරුන් විසින් ද සතුරන් විසින් ද සැම කල්හි හිංසා නො කළ හැක්කේ වෙමි. ආයුධයෙන් ද විෂයෙන් ද මාහට හිංසාවක් නොවේ. පෙරහන්කඩ පිදීමේ නිස්සන්දනයෙන් මා හට අතුරු මරණයක් නැත.

තෙල් තබා ගන්නා බඳුන් පිදීමේ අනුසස් පස

"තෙලධරෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

සුචාරුරූපො සුගදො සුසමුග්ගත මානසො

අවික්ඛිත්ත මනො හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො"

බුදුන් වහන්සේට ද සඟනට ද තේලධරයන් (තෙල් බඳුන්) දී මාගේ කර්මයනට අනුරූප වූ අනුසස් පසක් ලබමි. මනා රූ ඇත්තේ ද, මනා වචන ඇත්තේ ද, උසස් සිත් ඇත්තේ ද, අවික්ෂිප්ත සිත් ඇත්තේ ද, සකලාරක්ෂාවෙන් ආරක්ෂිත වූයේ ද වෙමි.

ඉදිකටු ගුලා පිදීමේ අනුසස් තුන

"සුචිඝරෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ.

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

චෙතොසුඛං කායසුඛං ඉරියාපථජං සුඛං,

ඉමෙ ගුණෙ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං"

බුදුනට ද සංඝයා හට ද ඉදිකටු කොපු පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. චිත්ත සුඛය ද, කාය සුඛය ද, ඉරියව් පැවැත්මේ සුඛය ද යන මේ ආනිසංසයන් එයින් ලබමි.

අංසකඩ පිදීමේ අනුසස් තුන

"අංසබද්ධෙ ජිනෙ දත්වා සංඝෙ ගුණවරුත්තමෙ,

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

-

චෙතො ඤාණඤ්ච වින්දාමි සරාමි දුතියං භවං.

සබ්බත්ථ සුච්ඡවි හොමි තස්ස නිස්සන්දතො මම."

බුදුන් වහන්සේට හා සඟනට අංසකඩ පුදා මාගේ කර්මයට අනුරූප පරිදි අනුසස් තුනක් ලබමි. පරසිත් දන්නා නුවණ ලබමි. දෙවන ජාතිය ද සිහි කරමි. මාගේ ඒ කුසලයෙන් හැම කල්හි ම මනා සිවි ඇත්තේ වෙමි.

පටි පිදීමේ අනුසස් සය

"කායබන්ධෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම,

-

සමාධීසු න කම්පාමි වසී හොමි සමාධිසු,

අභෙජ්ජපරිසො හොමි ආදෙ‍ය්‍ය වචනො සදා

-

උපට්ඨිත සතී හොමි තාසො මය්හං න විජ්ජති

දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණෙ"

බුදුනට ද සංඝයාට ද පටි පුදා අනුසස් සයක් ලබමි. සමාධීන්හි කම්පා නොවෙමි. සමාධියෙහි වශීභාවය (හුරුපුරුදු බව) ඇත්තේ වෙමි. නො බිඳෙන පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි අනුන් පිළිගන්නා වචන ඇත්තේ වෙමි. එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. බියක් මට නැත. දෙව්ලොව දී ද මිනිස් ලොව දී ද මේ ගුණයෝ මා හා පවත්නාහ.

ආධාරකයන් පිදීමේ අනුසස්

"ආධාරකෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ

පඤ්චවණ්ණෙහි දායාදො අචලො හොමි කෙනෙචි.

-

යෙ කෙචි මෙ සුතා ධම්මා සතිඤාණප්පබොධනා

ධතා මෙ න විනස්සන්ති භවන්ති සුවිනිච්ඡිතා"

ආධාරක යනු පාත්‍රාදිය තබන අඩිය ය. "පඤ්ච වණ්ණෙහි දායාදෝ" මෙහි අර්ථය අනිශ්චිතය. අචලො හොමි කෙනචි, කිසිවකින් නො සැලෙමි.

සිහි නුවණ පුබුදුවන්න වූ යම් ධර්ම කෙනෙක් මා විසින් අසන ලද ද, දරන ලද ද, ඒ ධර්මයෝ මා කෙරෙහි නො නස්නාහ. මා විසින් ඒ ධර්මයෝ සුවිනිශ්චිත ය.

භාජන පිදීමේ අනුසස් තුන

"භාජනෙ පරිභොගෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සොණ්ණමයෙ මණිමයෙ අථො පි ඵලිකාමයෙ

ලොහිතංකමයෙ චෙව ලභාමි භාජනෙ අහං

-

භරියාදාසදාසී ච හත්ථස්සරථ පත්තිකා

ඉත්ථි පතිබ්බතා චෙව පරිභොගානි සබ්බදා

-

විජ්ජා මන්තපදෙ චෙව විවිධෙ ආගමෙ බහු

සබ්බං සිප්පං නිසාමෙමි පරිභොගානි සබ්බදා"

බුදුනට ද සඟනට ද පරිභෝග භාජන පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. රනින් කරන ලද්දා වූ ද, මිණියෙන් කරන ලද්දා වූ ද, පළිඟුවෙන් කරන ලද්දා වූ ද, පියුම්රාමිණියෙන් කරන ලද්දා වූ ද භාජන මම ලබමි. භාර්‍ය්‍යාවෝ ද දාසදාසීහු ද, ඇත්, අස්, රිය, පාබල, සේනා ද පතිවත් ඇත්තා වූ ස්ත්‍රීහු ද හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති. විද්‍යා ද, මන්ත්‍රයන් ද නා නා ආගමයන් ද, සියලු ශිල්ප ද උගනිමි. ඒවා හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති.

තලි පිදීමේ අනුසස් තුන

"ථාලකෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.

-

සොණ්ණමයෙ මණිමයෙ අථොපි ඵලිකාමයෙ,

ලොහිතංකමයෙ චෙව ලභාමි ථාලකෙ අහං

-

අස්සත්ථකෙ ඵලමයෙ අථො පොක්බර පත්තකෙ

මධුපානක සංඛෙ ච ලභාමි ථාලකෙ අහං

-

වත්තෙ ගුණෙ පටිපත්ති ආචාර කිරියාසු ච,

ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං

ථාලක යනු තැටිවලට හා පිඟන් ආදී නො ගැඹුරු බඳුන්වලට නමෙකි. බුදුනට ද සඟනට ද තලි දී මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. රන්මුවා මිණිමුවා පළිගුමුවා පියුම්රාමිණිමුවා තලි මම ලබමි. බෝ පත් සටහන් ඇති තලි ද, ඵලයෙන් කළ තලි ද, පියුම් පත් බඳු තලි ද, මධුපානය කරන සක් ද තවත් නොයෙක් තලි ද මම ලබමි. වතෙහි ද ගුණයෙහි ද ප්‍රතිපත්තියෙහි ද ආචාර ක්‍රියාවන්හි ද මැනවින් පවතිමි. එහි ඵල වශයෙන් මේ ගුණ ලබමි. (මේ ගාථාවල අදහස විමසා ගත යුතු.)